Friday, April 26, 2024

General line - 0115112241

නැවක් ආපසු හැරෙවුවත් තෙල් හිඟයක් නැතැයි කියයි




ප‍්‍රමිතියෙන් බාල වීම හේතුවෙන් ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවක් ආපසු හරවා යැවුණද කිසිඳු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. එහි සභාපති ටී.ජී. ජයසිංහ මහතා පැවසුවේ ඉන්ධන හිඟයක් පිළිබඳ ඇතැම් පිරිස් පතුරුවා හරින ප‍්‍රචාර සත්‍යයෙන් තොර එ්වා බවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතාද මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. ඔහු කියා සිටියේ ගුවන් යානා ඉන්ධන හිඟය මගහරවා ගැනීම සඳහා මත්තල ඇති ඉන්ධන කටුනායකට ගෙන්වා ගැනීමට සිදුව ඇති බවයි.

මෙලෙස ගුවන් යානා ඉන්ධන නෞකාවක් ආපසු හරවා යැවීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මුල්‍ය පාඩුවක් සිදුව ඇතැයිද ඔහු කියා සිටියා. ඉන්ධන හිඟය මගහරවා ගැනීමට හදිසි මිලදී ගැනීමක් සිදු කිරීමටද කටයුුතු කර ඇති හෙයින් එහිදීද පාඩුවක් සිදුව ඇති බවයි පැවසුවේ.  ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයාගේ පරිපාලනය අකාර්යක්ෂම බවද මෙහිදී චෝදනාවක් කෙරුණා.

පරිපාලන දුර්වලතා පිළිබඳ වෘත්තිය සමිතිවල මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ වියරුවෙන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව තැකීමක් සිදු කළයුතු නොමැති බවයි.