Friday, April 26, 2024

General line - 0115112241

LTTEය සැඟවූ රත්තරන් සොයා මුලතිව්-පුදුකුඩිඉරිප්පු-වල්ලිපුරම්-ආනන්දපුරම් හාරයි (PHOTOS)




අවසන් යුධ සමයේ පළාගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් විසින් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, වල්ලිපුරම් හා ආනන්දපුරම් ප‍්‍රදේශයන්ගේ ආයුධ හා රත්තරන් තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරු අනුව අදාළ ප‍්‍රදේශයන්වල කැණීම් සිදු කිරීමට කටයුතු කළා.

මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් ඉදිරියේ ඊයේ (03) දින ආරක්ෂක අංශ විසින් මෙම කැණීම් සිදු කරා.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත මුලතිව් වල්ලිපුරම් ප‍්‍රදේශයද, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වෙත ලද තොරතුරක් මත මුලතිව් ආනන්දපුරම් ප‍්‍රදේශයද මහේස්ත‍්‍රාත්වරයා ඉඳිරියේ මෙලෙස කැණීම් සිදු කළා.

නමුත් අදාළ ස්ථානයන්ගෙන් කිසිඳු දෙයක් හමු නොවු බවයි පොලිසිය පැවසුවේ.

පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය, පොලිස් නිළධාරීන්, යුධ හමුදා නිළධාරීන් එක්ව අදාළ ස්ථාන බැකෝ යන්ත‍්‍ර මගින් කැණීම් සිදු කළ බවයි.

සඟවනු ලැබු යුධ උපකරණ හා රත්තරන් සොයා පැය ගණනාවක් මෙහෙයුම් සිදුකරනු ලැබුවද අදාළ ස්ථානයන්ගෙන් කිසිඳු භාණ්ඩයක් හමු වූයේ නැහැ.

අවසන් යුධ සමයේදී එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් නැවත ප‍්‍රයෝජනය ගැනීම උදෙසා අයුධ හා රත්තරන් සඟවා ගිය බව හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් විසින් මීට පෙරද පවසා තිබුණා.

මේ අතර කිලිනොච්චිය, උරුත්තිපුරම්, නිවිල්වැව ආසන්නයේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය සැඟවූ බවට සැක කෙරෙන මෝටාර් උණ්ඩ 17 ක් සොයාගෙන තිබෙනවා.

කුඹුරු යායක තිබූ ළිදක් හෑරීමට ගිය අවස්ථාවේදී ප‍්‍රදේශවාසීන් පිරිසකට මේවා හමුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මෝටාර් උණ්ඩ තොගය කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගය යටතේ නිෂ්කී‍්‍රය කිරීම සඳහා යුද හමුදා බෝම්බ නිෂ්කී‍්‍රය අංශය වෙත භාරදී තිබෙනවා.