Friday, April 26, 2024

General line - 0115112241

මහින්දගේ ආරක්ෂකයින් ඉවත් කිරීම පාර්ලිමේන්තුවත් උණුසුම් කරයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට සිටි ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් හදිසියේ ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන අද (04) කතානායකවරයාගේ අවධානයට යොමු කළා.

මෙම තීරණය හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවයි දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා  අද පාර්ලිමේන්තුවේදී කියාසිටියේ. තමා ඊයේ (03) රාත්‍රියේ අගමැතිතුමාට සහ අමාත්‍ය සාගල රත්නායකටද කතා කර මේ පිළිබඳව විමසා සිටි බවද සඳහන් කළා.

මෙම තත්ත්වය කල් නොගොස් විසඳන ලෙසටද ඉල්ලා සිටියා. දිනේෂ් ගුණවර්ධන වැඩි දුරටත් සඳහන් කළේ දේශපාලන වෛරයන් වෙන වෙන පුද්ගලයින්ටද පිරිමසා ගත හැකි බවයි. මැයි දිනය හේතුවෙන් කවුරුන් හෝ බිය වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙසද පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මෙහිදී ඉල්ලා සිටියා.

සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලද ඊට ප‍්‍රතිචාර දැක්වුවා. එහිදී ඔහු සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අවධානය යොමු කරන්නට පියවර ගන්නා බවයි. හිටපු ජනාධිපතිවරයාට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද සපයා ඇති බවත් ලබා දී ඇති පොලිස් විශේෂ කාර්ය බලකාය හොඳම කණ්ඩායමක් බවද සඳහන් කෙරුණා.