Friday, April 26, 2024

General line - 0115112241

දක්ෂයින් අගයන ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල අද




ක‍්‍රීඩා අමාත්‍යංශය දෙවන වරට සංවිධාන කරන ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල අද (19) පස්වරුවේ පැවැත්වෙනවා. 

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි. 

ඉකුත් වසරේ දක්ෂතා දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, පුහුණුකරුවන් මෙන්ම ක‍්‍රීඩා මාධ්‍යවේදීන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරෙන බවයි ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ. 

 

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මඟ පෙන්වීම මත සංවිධාන වන මෙම සම්මාන උළෙලේදී විවිධ අංශවල දස්කම් දැක්වූ 50කට අධික පිරිසකට ජනාධිපති සම්මාන පිරිනැමීමට නියමිතව තිබෙනවා.

ඉකුත් වසරේදී මෙන්ම මෙවර සම්මාන උළෙලේදී ක්‍රීඩා ජයග්‍රහණ ලබා විශිෂ්ටත්වයට පත්වූ හා ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආදර්ශවත් ක්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම පිරිනැමීමට නියමිත අතර එයට ක්‍රීඩාභිමානී, ක්‍රීඩා දේශෝත්තර, ක්‍රීඩා කීර්ති, ක්‍රීඩා ලංකා ප්‍රදීප, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා රත්න, ක්‍රීඩා ප්‍රභා යන විශිෂ්ටතා සම්මාන ද ඇතුළත්.

පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා විවිධ ක්ෂේත්‍රර වල දක්ෂයන්ට මේ සම්මාන උළෙලේදී ජනාධිපති සම්මාන පිරිනැමීමට නියමිතයි. 

පසුගිය වසරේ නොතිබූ 16න් පහළ දක්ෂතම යොවුන් ක්‍රීඩා ක්‍රීඩිකාවන් ඇගයීම, පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ප්‍රදානය කෙරෙනවා.

දිස්ත්‍රික්ක 25ක වයස අවුරුදු 12ට වැඩි ශිෂ්‍යත්වලාභීන් 25ක් වෙනුවෙන් ‘ක්‍රීඩා දිරිය’ මාපිය කැපකරු ක්‍රමයේ ප්‍රතිලාභ ප්‍රදානය, ජාතික කණ්ඩායම් 48ක අවුරුදු 18ට වැඩි ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ප්‍රරතිලාභ හිමිවන ‘ක්‍රීඩා සුරැකුම’ රක්ෂණ ක්‍රමය හා වයස අවුරුදු 60 ට වැඩි (රජයෙන් විශ්‍රාම වැටුප් නොලබෙන) ප්‍රතිලාභීන් දස දෙනකුට ‘ක්‍රීඩා සෙවන’ විශ්‍රාම වැටුප් ප්‍රදානය මේ සම්මාන උළෙලේදී සිදු කිරීමට නියමිතයි.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ විශිෂ්ටම සම්මානය ලෙස වසරේ ක්‍රීඩා විශිෂ්ටයා නම් කෙරෙන අතර දේශීය හෝ විදේශීය හොඳම ප්‍රතිඵල ලබාගත් කණ්ඩායමට වසරේ ක්‍රීඩා කණ්ඩායම් සම්මානය, සුවිශේෂී ප්‍රතිඵල අත්කරගත් වසරේ දක්ෂතම ක්‍රීඩිකාව හා වසරේ දක්ෂතම ක්‍රීඩාකයා, වසරේ දක්ෂතම පැරා ක්‍රීඩිකාව හා දක්ෂතම පැරා ක්‍රීඩකයා (ආබාධ සහිත) වසරේ කනිෂ්ඨ ක්‍රීඩා කණ්ඩායම, හොඳම කනිෂ්ඨ ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමට නියමිතයි.