Friday, April 26, 2024

General line - 0115112241

මහ වැස්ස 91 බිලි ගනී! 100ට වැඩි පිරිසක් අතුරුදන් (PHOTOS)




දිවයිනේ දිස්ති‍්‍රක් 14 කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් සියයට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවයි ආපද කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කොළොන්නාව, වැල්ලම්පිටිය, කැළණිය, බියගම, සේදවත්ත, දොම්පේ, හංවැල්ල, පාදුක්ක සහ අවිස්සාවේල්ල ප‍්‍රදේශවල කැළණි ගග දෙපස සිටින ජනතාවට වහාම ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා. කඩුවෙල සිට හංවැල්ල දක්වා ස්ථාන රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම මාර්ගයේ රථ වාහන ධාවනයටද බාධා එල්ල වී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර දෙණියාය, මොරවක ප‍්‍රදේශයේ කන්දක් නාය යාමෙන් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය පැවසුවේ.  

පවතින වැසි සහිත කාලගුණිත තත්ත්වය හේතුවෙන් රත්නපුර නගරයද ජලයෙන් යටවී තිබෙනවා. නගරය අවට සිටින ඇතැම් පිරිස් කොටුවී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැඩ පහර හේතුවෙන් ඔවුන් මුදාගැනීම අසීරු වී තිබෙනවා. පුද්ගල මරණ 28 ක් රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී ඇති බවයි දිස්ති‍්‍රක් ආපදා කළමණාකරණ ඒකකය පැවසුවේ. 

ගාල්ල දිස්ති‍්‍රක්කයේද පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. නෙළුව, හිනිදුම, තවලම, උඩුගම, නාගොඩ, බද්දේගම සහ තවත් ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.