Friday, April 26, 2024

General line - 0115112241

ගැඹුරු මුහුදේ දී දුටු අලියාව බේරාගත් නාවික හමුදාවේ දැවැන්ත මෙහෙයුමේ ඡායාරූප (PHOTOS)




නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) උදෑසන කෝකිලායි ප්‍රදේශයට අයත් කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට සමත් වුණා. 

මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර තිබුණා.

පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කළා.

තවද, සෙඩ්රික් යාත්‍රා 2 ක් මගින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් අලියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා මෙහෙයුම් ආරම්භ කළ.

මෙම කර්තව්‍ය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්වී ඇති අතර, ඔවුන්ගේ උපදෙස් මත නාවික හමුදා නිලධාරීන් විසින් අලියා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලියාට උපද්‍රවයක් සිදු නොවන ලෙස කඹ යොදා ගෙන එම ගැඹුරු මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුණා.

අලියා පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා වනජීවී නිලධාරීන් වෙත භාර දුන්නා.