Friday, April 26, 2024

General line - 0115112241

ඉන්ධන වර්ජනයේ අලුත්ම තත්ත්වය මෙන්න - තෙල් වෘත්තීය සමිති දැඩි තීරණයක




හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඛණිජ තෙල් සේවකයින් ඊයේ (24) මධ්‍යම රාත‍්‍රීයේ සිට ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ වැඩ වර්ජනය ආරම්භ කිරීමට පෙර රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට උපරිම උත්සහ කළත් ඉන් පළක් නොවූ බවයි. නමුත් වැඩ වර්ජනය ආරම්භ වීමෙන් පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට බලධාරීන් කටයුතු කළත් සිය සේවකයින් එය ප්‍රතික්ෂේප කරන බවත් පෙන්වා දුන්නා. ඒ අනුව දැන් මෙම වැඩ වර්ජනය නතර කළ හැකි වන්නේ සාකච්ඡාවකින් නොව සාකච්ඡාවකින් පසුව එළඹෙන තීරණවලින් බවයි ඔවුන් වැඩි දුරටත් අවධාරණය කරන්නේ. 

මෙම වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ සෑම ප‍්‍රදේශයකම පාහේ ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ රාති‍්‍රයේ සිටම දිගු වාහන පෝලිම් දක්නට ලැබුණා. ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇතැම් පිරිසකගේ දෛනික කටයුතු පවා අඩාල වී තිබුණා.

මේ වන විට ඉන්ධන හල්වලද ගබඩා කර තිබූ ඉන්ධන අවසන් වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

වර්ජනය තවත් දින දෙක තුනක් ඉදිරියට ගියහොත් ගුවන් යානාවලට ඉන්ධන ලබා ගැනීමට දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැණ නැගෙන බවයි ඛණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ගැටලු සඳහා විසඳුම් නොලැබුණ හොත් තෙල් ගොඩ බෑමද නවතා දමන බවයි ඔවුන් ඊයේ දිනයේදී සඳහන් කළේ.