Friday, April 26, 2024

General line - 0115112241

ලන්ච් ෂීට් එකට ගෙනා විකල්ප කොලේ මිල රුපියල් 08ක්




තහනම් කරන ලද පොලිතීන් කෑම කොළ වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් යෝජිත අමුද්‍රව්‍යයෙන් කෑම කොළ නිෂ්පාදනය කළහොත් කෑම කොළයක මිල රුපියල් 08ක් පමණ වනු ඇතැයි පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් අනුර හේරත් පෙන්වා දෙන්නේ "මෙම අමුද්‍රව්‍ය භාවිතා කරලා කෑම කොළ නිෂ්පාදනය කරන්න අපේ කර්මාන්තශාලාවල යන්ත්‍ර යම් වෙනස්කමකට භාජනය කළ යුතුයි. ඒකට අධික පිරිවැයකුත් යනවා. මයික්‍රෝන 20ට මෙම කෑම කොළය නිෂ්පාදනය කළොත් අඩුම රුපියල් 08 ක් වැනි මිලක් ඒ සඳහා අය කිරීමට සිදුවෙනවා." යනුවෙනි. 

මීට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි දිරායන කෑම කොළ සඳහා තමන් සතුව යෝජනාවක් තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

"මේ ක්‍රමය භාවිතා කරලා කෑම කොළයක් නිෂ්පාදනය කළොත් වසරක් වැනි කාලසීමාවකදි එය දිරා යනවා. අපේ යන්ත්‍ර වෙනස් කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලොකු මිල වැඩිවීමකුත් නැහැ."

කෙසේ වෙතත් සිය යෝජනාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් මෙතෙක් අවසර ලැබී නොමැති බවද පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නන්ගේ සංගමය පැවසුවා.

ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා වූ ප‍්‍රමිතීන් ශ‍්‍රී ලංකාවේ සකස් කර නොමැති බවයි. ශ‍්‍රී ලංකාවේ වෙළඳපොලට නිකුත් නොකළත් තමන් යෝජනා කරන මෙම විකල්ප ක‍්‍රමය යටතේ නිෂ්පාදනය කරන කෑම කොළ ශ‍්‍රී ලංකාව විසින් දැනටමත් යුරෝපය ඇතුළු වෙනත් රටවල් ගණනාවකට අපනයනය කරන බවද පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන්නන්ගේ සංගමය කියා සිටියා.