Friday, April 26, 2024

General line - 0115112241

විශාල භූකම්පනයකින් මෙක්සිකෝව දෙදරයි (PHOTOS/VIDEOS)




මෙක්සිකෝවේ දකුණු වෙරළට ඔබ්බෙහි ශාන්තිකර සාගරයේ මැග්නිටියුඩ් 8.1 ක ප්‍රබල භුමිකම්පාවක් හටගෙන තිබෙනවා. 

මේ නිසා අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකුවත් මේවනවිට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පැවසු පරිදි මෙක්සිකෝ හි පිජිජියපාන් (pijijiapan) නගරයට කිලෝමීටර 87ක් එපිටින් හා කිලෝමීටර 32ක් ගැඹුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වී තිබෙනවා.

මේ සමග මෙක්සිකෝ, ගුවාතමාලා, එල් සැල්වදෝර්, කොස්ටා රිකා, නිකරගුවා, පැනමා සහ හොන්ඩියුරාස් යන රාජ්‍යවලට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති අතර මෙක්සිකෝ සිටි අගනුවර ගොඩනැගිලි භූකම්පනය හේතුවෙන් දෙදරුම් කෑ අතර ජනතාව වීථිවලට දිව ගොස් තිබෙනවා.

මෙම භුමිකම්පාවේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 8.1 ක් බව තහවුරුවුවහොත්, එය 1995 සහ 1985 දී මෙක්සිකෝ වෙත බලපෑ භූකම්පනවලට සමවනු ඇතයි පරීක්ෂකයින් පවසන්නේ.

මේ අතරින් 1985 ඇතිවූ භුමිකම්පාව මෙක්සිකෝ සිටි අගනුවරට ආසන්නයේ හටගත් අතර ඉන් දහස් ගණනක් මියගියා.

මෙවර භූ කම්පනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණා.

මේ අතර මෙක්සිකෝ හි නැගෙනහිර වෙරළ තීරය මේවනවිට කටියා හරිකේන් කුණාටුවේ තර්ජනයට ද ලක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හරිකේන් වර්ගීකරණය අනුව පළමු ගණයේ කුණාටුවක් ලෙස සැළකෙන එය මේවනවිට ටැම්පිකෝ හි සිට කිලෝමීටර 300ක් ගිනිකොණ දෙසින් පවතින අතර පැයට කිලෝමීටර 140ක සුළං වේගයක් ඇති බව ජාතික හරිකේන් මධ්‍යස්ථානය පවසන්නේ.

www.bbc.com