Thursday, April 25, 2024

General line - 0115112241

ජයලලිතාගේ ඇඟිලි සලකුණ ගැන කියන්න ඇපලෝ වෛද්‍යවරයාට ඇරයුමක් (UPDATE)

වසන්ත පිවිතුරු




තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම සඳහා පෙනි සිටින ලෙස ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍ය බාලාජීට චෙනායි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට නියෝග කර තිබෙනවා.

ජයලලිතාගේ අත්සනක් සම්බන්ධයෙන් හා ඇඟිලි සලකුණක් සම්බන්ධයෙන් චෙනායි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සමක් අද (13) විභාගයට ගත් අවස්ථාවේ අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ඇය දැඩි ලෙස රෝගාතුරු වී ඇපලෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවක තිරුපරකුන්ඩ්‍රම් නැමැති මැතිවරණ කොට්ඨාසය සඳහා අතුරු මැතිවරණයක් පැවත්වුණා.

ජයලලිතාගේ පක්ෂය නියෝජනය කරමින් ඒ.කේ.බෝස් නැමැති අය එම අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර ඔහුගේ නාමයෝජනා පත්‍රය සඳහා ඇපලෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනිය වූ ජයලලිතා ජයරාම්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඇති බවටයි චෙනායි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙන්නේ.

ඇඟිලි සලකුණු ලබාගත් අවස්ථාවේ ඇය හොඳ සිහි කල්පනාවෙන් සිටියේ ද නැද්ද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බවයි අධිකරණය කියා සිටියේ.

එම නිසා ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍ය බාලාජිට අධිකරණය හමුවේ ලබන 27වන දින පෙනි සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළා.

එමෙන්ම මැතිවරණ කොමිසම ද අධිකරණය හමුවේ කරුණු දැක්විය යුතු බවත් චෙනායි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

මේ අතර ජයලලිතා ජයරාම්ගේ ඇඟිලි සලකුණු යොදා ගෙන ඇගේ දේපල වංචනික ලෙස අවභාවිත කිරිමක් සම්බන්ධයෙන් ද අධිකරණය හමුවේ කරුණු වාර්තා වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙස ඉන්දීය රහස් පොලිසියට චෙනායි ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කර තිබෙනවා.

------------------------

ඇපලෝ රෝහලට අපකීර්තියක් එක්කරමින් සමුගත් කෝමලවල්ලී ජයරාම් හේවත් ජයලලිතා (PHOTOS) (03-10-2017 05:50)

තමිල් නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් ඇපලෝ රෝහල දැඩි අපකීර්තියට ලක්ව ඇති බව ඇපලෝ රෝහල් හිමිකරු වන ප්‍රතාප් සී රෙඩ්ඩි පවසනවා.

විවිධ දේශපාලනඥයන් ඇපලෝ රෝහල නිසි ප්‍රතිකාර ලබා නොදීම හේතුවෙන් හිටපු මහ ඇමතිනිය මරණයට පත්වූ බව සිදුකර ප්‍රකාශ තමන්ට දැඩි බලපෑම් එල්ල කරන බවයි ඔහු පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඇපලෝ රෝහල් හිමිකරු වන ප්‍රතාප් සී රෙඩ්ඩි මෙම අදහස් පලකර ඇත්තේ.

ජය ලලිතාගේ මරණය සැක සහිත බව පවසමින් ඉන්දීය දේශපාලනඥයන් විසින් අවස්ථා කිහිපයකදී පරික්ෂණයක් ඉල්ලා සිටියා.

එය  සැලකිල්ලට ගනිමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය විශේෂ කමිටුවක් පත් කර තිබෙන්නේ ජය ලලිතාගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස නියෝග කරමින්.

කෙසේ වෙතත් එම පරික්ෂණ කමිටුව දැනටමත් සිය කටයුතු ආරම්භ කර ඇති අතර ඇපලෝ රෝහලේ විවිධ අංශයන් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇපලෝ රෝහල සම්බන්ධයෙන් ජනතාව අතර ගොඩනැගි තිබු විශ්වාසය පළුදු වී ඇති බව ද රෙඩ්ඩි ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් තම ව්‍යාපාරයට එල්ල වන හානිය හා අපකීර්තිය මෙතෙක් තමන් ගොඩනගා ගත් ප්‍රතිරූපය බිඳ දමා ඇති බව පෙන්වා දෙන ඔහු කියා සිටියේ ඉදිරි පරික්ෂණ සඳහා තමන් පූර්ණ සහාය ලබාදීමට ක්‍රියාකරන බවයි.

එමෙන්ම තමිල් නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් ඇපලෝ රෝහලට ඇතුල් කළ අවස්ථාවේ සිට ඇය මරණයට පත්වන තුරු තම රෝහල මගින් සිදුකරන ලද ප්‍රතිකාර සම්බන්ධයෙන් වූ සීසීටීවී දර්ශන අදාළ පරික්ෂණ කණ්ඩායම වෙත ලබාදීමට කටයුතු කරන බවයි  ඇපලෝ රෝහල් හිමිකරු වන ප්‍රතාප් සී රෙඩ්ඩි ඉන්ධීය මාධ්‍ය වෙත කියා සිටියේ.

1948 වර්ෂයේ පෙබරවාරි 24 වන දින ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ උපත ලැබු කෝමලවල්ලී ජයරාම් දමිළ සිනමාවට පිවිසුනේ ජයලලිතා ජයරාම් යන නමින්.

එතැන් පටන් දමිළ සිනමාවේ සිහින තාරකාවක් ලෙස වැජඹුණු ඇය 1984 වර්ෂයේ දී ක්‍රියාකාරි දේශපාලනයට පිවිසුනේ අන්නා ත්‍රවිධ කලහම් පක්ෂයෙන්.

සිව් වතාවක් තමිල් නාඩුවේ මහ ඇමති ධූරය දරු ජයලලිතා ජයරාම් 2016 වසරේ දෙසැම්බර් මස 5 වන දින මරණයට පත්වුණේ දැඩි ලෙස රෝගාතුරුවී චෙනායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.