Wednesday, February 5, 2025

General line - 0115112241

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සම්බන්ධ නඩුවකට අමාත්‍ය විජිත හේරත් සාක්‍ෂි ලබා දෙයි




සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය විජිත හේරත් මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා. 

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආර් එස් එස් සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි. එහිදී සාක්ෂි ලබාදුන් අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මහජන නියෝජිතයකු වශයෙන් කටයුතු කරන තමන්ට මහජනතාව මෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලැබෙන බවයි.

එසේ ලැබුණු තොරතුරකට අනුව මෙම නඩුවට අදාළව 2015 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ බවත් ඔහු පැවසුවා.

මහජන දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින් තමා එම පැමිණිලි ඉදිරිපත් කළ බව සඳහන් කළ විජිත හේරත් අමාත්‍යවරයා එම පැමිණිලි පිළිබඳ විමර්ශන පවත්වා ඊට වගකිව යුතු  පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම විමර්ශන ආයතනවල වගකීමක් බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුනි මස 04 වනදා දක්වා කල් තැබුණා. සංවර්ධන ලොතරැයි ටිකට්පත් ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම්වලට පැවරීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ඉදිරිපත් කර තිබුණා.

 

උදය කුමාර