එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවර ප්‍රජාවට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගත්තා.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.
මෙහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නෞකාව ගිනිගැනීම හේතුවෙන් බස්නාහිර වෙරළ තීරයට පමණක් නොව දකුණු වෙරළ තීරයටද විශාල හානියක් සිදුවූ බවයි.
වන්දි ලබාදීමේදී මේ සම්බන්ධයෙන්ද රජය විසින් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් නීතිඥවරිය මීගමුව ප්‍රදේශයේ මෙම සිද්ධියෙන් පීඩාවට පත් වූ ධීවරයින්ට මෙතෙක් වන්දි ලබාදීමේ කටයුතු නිසියාකාරව ඉටූ වී නොමැති බවට ඔවුන් විසින් තමා දැනුවත් කර තිබෙන බවත් සඳහන් කළා.
මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් හානි සිදුවන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත පරපුරටත් එහි හානිය විහිදී ගොස් තිබෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට වගඋත්තරකරුවන් කටයුතු කළ යුතු බවත් නීතිඥ හිමාලි කුලරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල් තැබුණා.