Friday, April 26, 2024

General line - 0115112241

ඝණ කැලයකින් වැසුණු බලකොටුවක් සොයා ගැනේ (VIDEO)

නිහල්සිරි ගම්ලත්




මෙතෙක් තොරතුරු අනාවරණ කර නොගත් පෘතුගීසි බලකොටුවක් කෑගල්ලෙන් සොයා ගැනීමට පුරාවිද්‍යා බලධාරීන් සමත් වි තිබෙනවා.

එය සොයා ගැනුණේ දෙහි ඕවිට, පනාවල මඩගම්මන ප‍්‍රදේශයේ පිහිටි කැළෑබද ප‍්‍රදේශයක තිබියදීයි. 

මෙම පෘතුගීසි බලකොටුව 1515 ත් 1540 ත් අතර කාලය තුළ සීතාවක ආක‍්‍රමණයෙන් පසුව ඉදිකරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒ, සබරගමුවට පිවිසීමේ පහසුවද අරමුණු කර ගනිමින්. ඒ හේතුවෙන් මෙම බලකොටුව නිර්මාණය කර ඇත්තේ පැති 3 ක් පමණක් ආවරණ වන පරිදියි. 

මෙරට ඇති සියලූ පෘතුගීසි බලකොටු පසුව  ඕලන්ද සහ ඉංගී‍්‍රසි ජාතිකයන් විසින් භාවිතයට ගනු ලැබ තිබුණා. එබැවින් ඒවායෙහි පෘතුගීසි ලක්‍ෂණ වෙනස් වුණා. එහෙත් අලුතින් සොයාගත් බලකොටුව එලෙස භාවිත කර නොමැති බවටයි විශ්වාස කෙරෙන්නේ.

එබැවින් එහි පෘතුගීසි ලක්‍ෂණ කිසිවක් නොවෙනස්ව පැවතීමද විශේෂත්වයක්.

මෙම බලකොටුව පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා පුරාවිද්‍යා බලධාරීන් ඊයේ (17) එම ප‍්‍රදේශයට ගියා. නෙත් නිවුස් කණ්ඩායමක්ද ඔවුන් සමග එක් වුණා. එහිදී නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල සඳහන් කළේ මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් බවට හදුනාගත හැකි ලක්ෂණද ඇති බවයි.

මෙම බලකොටුව පිළිබඳ ඉතිහාසයේ තොරතුරු තිබුණද එය මෙතෙක් සොයා ගැනීමට හැකි වි තිබුණේ නැහැ. ඝණ කැළෑවකින් වැසුනු මෙම බලකොටුව සොයාගැනීමට හැකි වුණේ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය හේතුවෙන් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඓතිහාසික වටිනාකමින් යුත් මෙම බලකොටුව ආරක්‍ෂා කර ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල පැවසුවේ.