Saturday, April 27, 2024

General line - 0115112241

"ලක්ෂ ගණනකට යන්න පාර නෑ..බඩ වියත රැක ගන්න කුඹුරු කරන්න බෑ " - ගමේ ප්‍රශ්ණය තරුණ තරුණියන් එක්ව විසඳන හැටි මෙන්න 




'රිදී මුදල' හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පිහිටි කෘෂිකර්මාන්තයට වැඩි ඉඩකඩක් ඇති ගම්මානයක් වනවා.


පවුල් 150ක් පමණ  ජීවත් වන මෙම ගම්මානය ඔස්සේ වැටී ඇති ජිනරතන මාවත ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජීවත්වන ප්‍රදේශ රැසකට පිවිසිය හැකි වන ප්‍රධානතම මාර්ගයක් වනවා.

කිරිවත්තුඩුව,යකහලුව,ගොවි ජනපදය,උඩුවන සහ දියගම වැනි ප්‍රදේශ සඳහා එය පිවිසුම් මාර්ගයක් බවට පත්ව තිබෙනවා.

දහස් ගණනින් ජනතාව දිනපතා ගමන් කළ ද මෙම මාර්ගය දැඩි අබලන් තත්ත්වයට පත්ව ඇති අතර ඊට හේතුවී ඇත්තේ ජලය ගලා යාමෙන් මාර්ගයේ කොටස් කැඩී කුඹුරට වැටීම නිසායි.

 


මේ මාර්ගයේ මුල් කොටස දිවෙන්නේ පුරන්වූ සහ දැනට වගා කෙරෙන කුඹුරු යායක් මැදිනුයි.

කලක් සශ්‍රිකවූ මේ කුඹුරු ඉඩම් වගා කිරීම අත්හැර දමා ඇත්තේ ද මාර්ගයට ඉහළින් එන ජල කඳ කුඹුරු විනාශ කරමින් ගලායාම නිසායි.

 

මේ සියල්ල ගමේ මිනිසුන්ට තනිව විසඳා ගත නොහැකිවූ අතර පහත ව්‍යාපෘති ඊට විසඳුම් ලෙස ගමට පැමිණ තිබුණේ ලක්ෂ ගණනක මහජන මුදල් ද සමගයි.

 

අවසානයේ අදත් ප්‍රශ්ණය එලෙසම   ඉතිරිව ඇති අතර   ඊට විසඳුමක් සොයා යාමට සිදුවුයේ  ගමේ තරුණ තරුණියන්ටයි.

මෙම ගම්මානයේ රාහුල  යෞවන සමාජය මේ ප්‍රශ්ණය ජාතික තරුණ සේවා සභාවට ගෙන ගොස් ඇති අතර 'ගමට කෝටියක් වැඩසටහන යටතේ ' එහිදී ඔවුන්ට හිමිව ඇති මුදල රුපියල් ලක්ෂයක්.

එම රුපියල් ලක්ෂයෙන් වැඩ ඇරඹු ඔවුන්,ගමෙන් එකතු කරගත් තවත් රුපියල් ලක්ෂ 3ක් පමණ යොදවා තම ශ්‍රමයෙන් පැති බැම්මක් බැඳ ගමට ඇති ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා මේ දිනවල කටයුතු කරමින් සිටිනු දක්නට ලැබෙනවා.

 

ඔවුන්ගේ උත්සාහය ඇගයීම සඳහා තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඔහු සඳහන් කර සිටියේ තරුණ තරුණියන් ගමට සේවය කිරීම ඇගයීමට ලක් කළ යුතු බවයි.

 

'රිදී මුදල' ප්‍රදේශයේ ජනතාවට විසඳා ගත නොහැකි මේ ප්‍රශ්නයට තරුණ තරුණියන් එක්ව විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ගම්මානයේ වැඩිහිටියන් කතා කරන්නේ ඉමහත් සතුටකින්.

"වතුර නිසා අපිට පාරක යන්න බෑ.ඒ වතුර පාර උඩින් ඇවිත් අපේ කුඹුරු විනාශ කරනවා.මේ ළමයි එකතුවෙලා මේ කරන වැඩේ නිසා අපෙ හැමට විශාල යහපතක් සිදු වෙනවා" යනුවෙන් කේ.ඒ.ප්‍රේමසිරි සඳහන් කළා.

 


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම ගම්මානයේ එම්.යසපාල සඳහන් කළේ තමන්ට මෙම කටයුත්ත දකින විට විශාල සතුටක් ඇතිවන බවයි.

"ලොකු සතුටක් දැනෙනවා ළමයි කරන දේ දැකලා.ලොකු මිනිස්සුන්ට විසඳන්න අපහසු ප්‍රශ්නයක් තමයි ඒ අය විසඳන්න හදන්නේ "

 


මේ අතර රුපියල් ලක්ෂයෙන් වැඩ ඇරඹු මෙම ව්‍යාපෘතිය පිළිබඳව රාහුල  යෞවන සමාජයේ සංවිධායක සිතාර සංජය මෙලෙස අදහස් පළ කළා.

"අපේ රාහුල  යෞවන සමාජයේ 30ක් විතර සාමාජික සාමාජිකාවන් ඉන්නවා.ඔවුන් සහ ගමේ පිරිස අපිට ශ්‍රමයෙන් විශාල සහයෝගයක් දැක්වුවා."