Wednesday, May 8, 2024

General line - 0115112241

තහනම් කළ කෝටි ගණනක දේපළ ඉල්ලා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් අධිකරණයට මෝසමක්

උදය කුමාර




පාතාල කල්ලි නායකයෙකු මෙන්ම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සිරිනාථ පතිරනගේ රුවන් චමිල හෙවත් දෙමටගොඩ රුවන් විසින් නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා.

ඒ, අධිකරණ නියෝග මත මේ වනවිට අත්හිටුවා තිබෙන රුපියල් කෝටි ගණනක් වූ සිය දේපළ මුදා හැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

අදාළ මෝසම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ඉදිරියේ කැඳවනු ලැබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ මෝසම ජුනි මස 27 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවා කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි. 

දෙමටගොඩ රුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිය සේවා දායකයාගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම වත්කම් තහනම් කරමින් අධිකරණ නියෝග ලබාගෙන මේ වනවිට වසරකට අධික කාලයක් ගත වී තිබෙන බවත් ඔහු අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ වත්කම් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.