Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකිකයින් අනතුරට ලක්වු බවට සනාථ කර නෑ

හර්ෂිකා සංජිවනි




ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට පත්වූ සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් සිටි බවට මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බවටයි ඉතාලි වෙරළාරක්ෂක බළකාය තොරතුරු අනාවරණය කර තිබුණේ.

එම යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයන් ගමන්ගත්තේ ද යන්න පිළිබ තවදුරටත් තොරතුරු සොයා බලන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සහන් කළා.

මධ්‍යධරණී මුහුද හරහා ගමන් ගනිමින් තිබියදී අනතුරට ලක්වූ මෙම යාත්‍රාවේ ගමන්ගත් පුද්ගලයින් 700ක් පමණ බේරාගැනීමට හැකිව තිබෙනවා.

ඉතාලි වෙරළාරක්ෂක බළකායේ ප්‍රකාශයකු පවසා ඇත්තේ අනතුරින් මියගිය පුද්ගලයින් 23 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බවයි.

තවත් 64 දෙනෙකු අතුරුදන් බවයි එරට වාර්තා පැවසුවේ.

බේරාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින් ද සිටින  බවට එරට තොරතුරු වාර්තා කර තිබුණා. මියගිය අය අතර ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න පිළිබඳ ඉතාලි බලධාරීන් මේ වන තෙක් ප්‍රකාශ කර නැහැ.

බේරාගත් පිරිස අතර පකිස්ථාන, ලිබියා, බංග්ලාදේශ, ඇල්ජිරියා, ඊජිප්තු, මොරොක්කෝ, ජර්මන්, සිරියා, ජෝර්දාන් සහ ලෙබනන් යන රටවල පුද්ගලයින් ද සිටින බව ඉතාලි වෙරළාරක්ෂක බළකාය පවසා තිඛෙපනවා.