Friday, April 26, 2024

General line - 0115112241

හරීන්ගේ නම විකුණා මුදල් ඉපයූ 'වංචාකරුවා' නෙත් අනාවරණයට පසු ඇල්ලූ හැටි  

දිනේෂ් උපේන්ද්‍ර-කුලියාපිටිය     




නෙත් එෆ් එම් බැලුම්ගල අනාවරණයෙන් පසුව සමාජ සේවකයෙකු ලෙස හොඳ  මුහුණ පෙන්වා රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වංචා කොට සැඟව සිටි බිංගිරිය ප්‍රදේශයේ සමාජ සේවා පදනමක අධ්‍යක්ෂවරයෙකු දඹුල්ල ඇඹුල්අඹේ ප්‍රදේශයේ ඥාතිවරයෙකුට අයත් නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා.

එසේ අත්අඩංගුවට ගැණුනේ බිංගිරිය ප්‍රදේශයේ සමාජ සුභසාධනය සඳහා පිහිටුවාගෙන තිබූ කිංස්ලි ප්‍රදීප් පදනමේ අධ්‍යක්ෂවරයා වූ අතර සැකකරු ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ලේකම්වරයෙකු බව පවසමින් රජයේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර තිබූ බවට දිගින් දිගටම පොලිසියට  පැමිණිළි ලැබී තිබුණා.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ රජයේ රැකියා පමණක් නොව අමාත්‍යංශවලට ලැඛෙන කෝටාවන් මත ජපන් රටේ රැකියා ලබාදෙන බවටත් පවසමින් මුදල් වංචාකර ඇති ඔහු  වාහන හොර පාරෙන් ලබා දෙන බව පවසමින්ද මුදල් වංචා සිදුකර ඇති බවයි.

බිංගිරිය ප්‍රදේශයේ සැකකරුගේ රුව රැගත් නාමපුවරු පාසැල් නාමපුවරු ආදිය පවා පසුගිය වකවානුවේ දක්නට තිබූණා.

සැකකරු හෙට්ටිපොල අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය යන නිලධාරීන්ගේ  උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමනායකගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්ෂණ සිදු වනවා.

 

(එම බැලුම්ගල වැඩසටහනට මෙතැනින් පිවිසිය හැකියි.)