Friday, April 26, 2024

General line - 0115112241

නිලධාරීන්ගේ දෝෂය නිසා මාස 11 කට පසුව පාසල අහිමි වූ දරුවෙක් (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හුංගම විජයබා ජාතික පාසලේ මේ වසරේ පළමු වසරට ළමුන් ඇතුලත් කරගැනීමේදී සම්මුඛ පරීක්ෂණයේ ලකුණු එකතු කිරීමේදී විදුහලේ සිදු වූ ප්‍රමාද දෝෂයක් නිසා මාස එකොළහක් (11) පාසල් ගිය තම දරුවා පාසලෙන් ඉවත් කිරීමට විරෝධය පැමිණ දරුවා ද සමග දෙමාපියන් සහ ප්‍රදේශවාසින් පිරිසක් එක්ව පාසල ඉදිරිපිට අද (20)දින විරෝධතාවයක නිරත වුණා.

වී .ජි .අකේෂ් ඉදුවර නැමති එම දරුවාගේ දෙමාපියන් සහෝදර පදනම යටතේ පාසලට දරුවන් ඇතුලත් කිරීමේදී අයදුම් පත් යොමුකර සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට ඇති අතර පසුව විදුහල මගින් දරුවා පාසලට ඇතුලත් කර ගැනීම සඳහා තෝරාගෙන ඇති බවද දන්වා හුංගම ජාතික පාසලේ එවකට විදුහල්පතිවරයා විසින් 2016.12.20 දින ලිපියක්ද යොමුකර තිබෙනවා.

ඒ අනුව මෙම දරුවා එම පාසලට ඇතුලත් කර පළමු ශ්‍රේණියේ බි පන්තියේ ඉගෙනුම ලබමින් ලැබුවා.

ඒ අතරතුර පාසලේ විදුහල්පති විසින් අදාල දරුවා පාසලට ඇතුලත් කර ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයේදී ලබාගත් ලකුණු එකතු කිරීමේදී ඇතිවූ ප්‍රමාද දෝෂයක් නිසා ලබාගත් ලකුණු 32 ක් 62 ක් ලෙස අවසන් ලේඛනයේ සදහන් වී ඇති බවත් එම පදනම යටතේ කඩයිම් ලකුණු 61 ක් වූ අතර එමනිසා දරුවා පාසලට තොරාගත්බව දැන්වූ බවත් ,නමුත් දරුවාගේ ඇතුලත් වීම සම්බන්ධයෙන් විරෝධතා ඇතිවූ නිසා ඒ ගැන සොයා බැලීමේදී ඉහත ප්‍රමාද දෝෂය අනාවරණය වූ නිසා ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් අධාපන අධ්‍යක්ෂකවරයාට (ජාතික පාසල් ) විදුහල්පති වරයා විසින් දන්වා තිබෙනවා.

පසුව එයට පිළිතුරු වශයෙන් හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දන්වා ඇත්තේ දරුවා ආසන්න වෙනත් පාසලකට යොමු කරන ලෙසයි .

නමුත් මාස 11 ක පමණ කාලයක් හුංගම විජබා ජාතික පාසලේ ඉගෙනුම ලැබූ තම දරුවා වෙනත් පාසලකට ඇතුලත් කිරීමේදී දරුවාට සිදුවන අපහසුතාවය ගැන සලකා ඒ සඳහා අකමැති වී තිබෙනවා.

අධ්‍යාපන බලධාරීන් අතින් සිදුවූ මෙම වැරදීම නිසා තම දරුවා අපහසුතාවයට ලක්වී ඇති බවත් තමන්ගේ වැඩිමහල් දරුවා එම පාසලේම ඉගෙනුම ලබන බැවින් මෙම පාසලේම දරුවා හට අධ්‍යාපනය ලැබීමට අවකාශය සලසා දෙන ලෙස දරුවාගේ පියා වන විදානගමගේ අජිත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.