Friday, April 26, 2024

General line - 0115112241

නවදිල්ලි නුවර භූ කම්පාවක් - මෙරට වෙරළශ්‍රිත ජනතාවත් කළබල වෙයි

පසන් වික්‍රමතිලක/නවෝද්‍යා ගමගේ




ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ.

භූ කම්පනය පිළිබඳ වාර්තාවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශවල පිරිස් කලබලයට පත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

මුහුදු රළ උස්ව නැගී ඒම, මුහුද අවපැහැ ගැනීම සහ මසුන් විශාල වශයෙන් ගොඩගැසීම වැනි පසුගිය දින කිහිපයේ ඇති වූ මුහුදේ ඇතැම් වෙනස්කම් සමග මෙම  භූ කම්පනය ගළපා ගැනීමට ද ඇතැම් අය උත්සහ දරා තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිදු වූ භූ කම්පනය මෑතක දී ඇතිවිය හැකි සුනාමියක තවත් පෙරනිමිත්තක් බවටයි සමාජජාල වෙබ් අඩවිවල අදහස් පළ කරන සමහරෙකු පෙන්වා දෙන්නේ.

මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම කුමක්දැයි විමසා නෙත් නිවුස් වෙත ශ‍්‍රාවකයින් කිහිපදෙනෙකුගෙන් දුරකතන ඇමතුම් ද ලැබුණා. නෙත් නිවුස් ඒ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වැඩි දුරටත් විමසා සිටියේ ඒ අනුවයි. 

ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පවසා තිබුණේ ඊයේ (06) රාත‍්‍රී 8.49ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි. උත්තරාඛාන්ත් ප‍්‍රාන්තයට සහ හිමාලයන්හි ඇතැම් ප‍්‍රදේශවලට එහි වැඩිම බලපෑම දැනී ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය කියා සිටියා.

හර්යානා සහ හිමාචල් යන ප‍්‍රාන්තවලට ද මෙම භූ කම්පනයේ බලපෑම දැනී තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ජීවිතහානි හෝ වෙනත් හානි සිදුව ඇත්දැයි තවමත් තහවුරු වී නැහැ. 

නවදිල්ලි නුවර ඊයේ සිදු වූ භූ කම්පනයෙන් එහි වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ට බලපෑමක් සිදු වූයේ දැයි නිරන්තර අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය ද පැවසුවා. එහෙත් එවැනි බලපෑමක් පිළිබඳ මේ දක්වා වාර්තා වී නොමැති බවයි නෙත් නිවුස් කළ විමසීමක දී එහි ප‍්‍රකාශිකාවක් කියා සිටියේ.