Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාවේ අවවාද නොතකා රුසියාව අවි ආයුධ නෞකා සිරියාවේ සීරුවෙන් තබයි (PHOTOS)

වසන්ත පිවිතුරු - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉදිරියේ දී තමන්ට එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් පවසනවා. ඒ සඳහා අවශ්‍ය සියළුම බලවේග ශක්තිමත් කර ඇති බව ඔහු රුසියානු රාජ්‍ය මාධ්‍ය වෙත පවසා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පසුගිය සිකුරාදා (14) අමෙරිකානු ඒකාබද්ධ හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු දීමට තමන්ට හැකි වූ බවද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. ඒ අතරවාරයේ අවි රැගත් රුසියානු නෞකා 14ක් මේවන විට සිරියාවට පැමිණ ඇති බව විදෙස් වාර්තා අද (16) අනාවරණය කර තිබෙනවා.

අමෙරිකානු ඒකාබද්ධ හමුදාව තවදුරටත් සිරියාවට ප්‍රහාර එල්ල කරයි නම් ඊට නොබියව ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට රුසියාව සූදානම් වෙමින් සිටින බවද සඳහන්. ඒ අනුව රුසියාවේ සිට සිරියාව වෙත අවි රැගත් නෞකා ගෙන්වා ඇති අතර එහි තිබෙන අවි ආයුධ ප්‍රහාර එල්ල වනු ඇතැයි සැක කරන ස්ථාන වෙත ස්ථාන ගත කර ඇති බව පූටින් රුසියානු මාධ්‍ය වෙත් සඳහන් කර ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් රුසියාව විසින් අධි බලැති බෝට්ටු, යුද ටැංකි,රොකට් ප්‍රහාරක යානා සහ කාල තුවක්කු යනාදිය සිරියාවේ ස්ථානගත කිරිම දැඩි අවදානම් තත්ත්වයක් බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ.

පසුගිය 14 වනදා සිරියාවටඉ එල්ලවූ ප්‍රහාරවලින් අනතුරුව නෞකා 14ක් සිරියාවට ආයුධ රැගෙන ඇවිත් ඇති අතර මෙය රුසියාව විසින් සිරියාව වෙත අවි ආයුධ ලබාදෙන සිව්වැනි වතාව බව සඳහන්.

සිරියාව වෙත අමෙරිකානු ඒකාබද්ධ හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ සහ ජර්මානු චාන්සලර්වරිය වන ඇන්ජා මැකේල් සිය ප්‍රසංශාව පල කර තිබෙනවා.

මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව අප්‍රසාදය පල කර ඇති අතර ප්‍රහාරය එල්ල කළ රටවලට ඉදිරියේ දී විපාක රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවට පූටින් කළ අනතුරු ඇඟවූ පසුබිමක ප්‍රංශ ජනාධිපති එමානුවේල් මැක්රන් සඳහන් කර තිබෙන්නේ පසුගියදා සිරියාව වෙත එල්ල කෙරුණු ප්‍රහාරය කිසිදු යුදමය තත්ත්වයක පෙර නිමිතත් නොවන බවයි. එම නිසා ඒ සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක් ඇතිකර ගත යුතු බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ.

නමුත් සිරියානු හමුදාව එහි අහිංසක ජනතාව වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරන්නේ නම් එම ප්‍රහාර මර්දනය කිරිමට අමෙරිකාව පසුබට නොවන බව එහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමෙරිකාව එසේ අවවාද කිරිම නොතකා රුසියාව මෙලෙස අවි නෞකා මගින් සිරියාවට ආයුධ ගෙන ඒ භයානක තත්ත්වයක් බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබෙන්නේ.