Friday, April 26, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ට ඇත්තටම ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වුණා ද?

වසන්ත පිවිතුරු




මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවට අවශ්‍යව ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය විසින් රතු වරෙන්තු නිකුත් කර තිබීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගේ අවදානය යොමුව තිබෙනවා.

ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය විසින් රතු වරෙන්තු නිකුත් කර ඇති බවයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබුණේ. ඒ මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකය විසින් සිදුකර ඇති ඉල්ලීමකට අනුව බව සඳහන්.

කෙසේ වෙතත් ජාත්‍යන්තර වශයෙන් රතු වරෙන්තු නිකුත් වූ පුද්ගලයන්ගේ ඡායාරූප හා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ජාත්‍යන්තර පොලීස් නිල වෙබ් අඩවියේ පල කරනු ලබනවා.

මේ සම්බන්ධයෙන් nethnews.lk ජාත්‍යන්තර පොලීස් නිල වෙබ් අඩවියෙන් සොයා බැලීමක් කළා. නමුත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන්  මෙතෙක් එහි කිසිදු ඡායාරූපයක් හෝ තොරතුරක් පල වී නැහැ.

එමෙන්ම ශ්‍රී ලංකා හෝ සිංගප්පූරුවට අදාළ ලැයිස්තුවල ද ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නැති අතර ජාත්‍යන්තර පොලීස් නිල වෙබ් අඩවියේ ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයන්ගේ විස්තර ඇතුළත් ප්‍රධාන පිවිසුමේ පිටු 14ක් ඇති අතර එහි අද (22) දිනට අදාළව තොරතුරු සටහන්ව ඇති රතු වරෙන්තු කරුවන්ගේ සංඛ්‍යාව 119ක්.

ඔවුන් 119 දෙනා අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කිසිදු තොරතුරක් සටහන් වී නැහැ.

මේ අතර අදාළ ජාත්‍යන්තර පොලීස් නිල වෙබ් අඩවියේ දත්තවලට අනුව දැනට ශ්‍රී ලංකාව පොලීසියට අවශ්‍යව ඇති රතු වරෙන්තු කරුවන්ගේ සංඛ්‍යාව 3යි. සිංගප්පූරු ලැයිස්තුවට අදාළව නිකුත් වී ඇති රතු වරෙන්තු සංඛ්‍යාව 10 වන අතර ඔවුන්ගේ තොරතුරු ඇතුළත් පිටු 2ක් අදාළ වෙබ් අඩවියේ පවතිනවා.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කර ඇති බවට ශ්‍රී ලංකා පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පසුගිය 20 වනදා නිවේදනය කර තිබුණා. නමුත් අදට දින 2ක් ගතව තිබුණ ද ජාත්‍යන්තරව  රතු වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නම ඇතුළත් නොවීම සම්බන්ධයෙන් මේවන විට විවිධ මත පලවී තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයා දැනට සිංගප්පූරුවේ සිටින බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මීට පෙර ද අවස්ථා දෙකකදී ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළ අතර එම අවස්ථා දෙකම ඔහු විසින් පැහැර හැර තිබුණා.

INTERPOOL OFFICIAL WEB SITE 

ශ්‍රී ලංකා රතු වරෙන්තු කරුවන්ගේ තොරතුරු

සිංගප්පූරු රතු වරෙන්තු කරුවන්ගේ තොරතුරු