නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය වීම නිසා ඇතිවන විෂ ආම්ලික තත්ත්වයක් ඉහළ අහසේ වළාකුළුවල තැන්පත් වී ඇති බවත් එම වළාකුළු නිරිත දිග මෝසම් තත්වයත් සමඟ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ දෙසට ගමන් කිරීමේ අවධානමක් ඇති බව පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක සඳහන් කරනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ ආචාර්ය රනිල් සේනානායක සඳහන් කළේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දහනය වීමේදී ගෙන්දගම්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් මෙන්ම බැරලෝහ පිටවන බවයි.
මෙලෙස පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් ඉහළ අහසේ වළාකුළු සමඟ එක්වී සල්ෆියුරික් අම්ලය සාදන අතර නයිට්‍රජන් ඔක්සයිඩ් වලින් නයිට්‍රික් අම්ලය ද සාදන බවයි. මේ තත්ත්වය නිසා මේ වනවිට නොරොච්චොලේ අවට ප්‍රදේශවල ගහ කොල වෙත දැවැන්ත පාරිසරික තර්ජනයක් එල්ල වී ඇති බවත් එම ප්‍රදේශය ආශ්‍රිත උස ගස්වල ඉහළ ශාක පත්‍ර කහ පැහැ ගැන්වී ඇති බව නිරීක්ෂණය කළ හැකි බවත් සඳහන් කරනවා.
මෙහි අවාසනාවන්ත තත්ත්වය මෙම විෂ ආම්ලික තත්ත්වයන් සහිත වළාකුළු නිරිත දිග මෝසම් තත්ත්වයත් සමඟ අනුරාධපුරය දෙසට ගමන් කිරීමයි. කිලෝමීටර් 6ක හෝ 6.5 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී පවතින මෙම වළාකුළු අනුරාධපුරය දෙසට ගමන් කිරීමේදී එම ගමන් පථය තුළ අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝධියද පිහිටා ඇති බවයි රනිල් සේනානායක පෙන්වා දුන්නේ. ලොව පැරණිතම වෘක්ෂයක මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් වන්දනාවට සහ ගෞරවයට පාත්‍ර වන ජය ශ්‍රී මහ බෝධියට පවා මෙම ආම්ලික වලාකුළු මඟින් හානියක් සිදුවිය හැකි බවයි ඔහුගේ අදහස. මීට අමතරව මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ද කහ පැහැති ආම්ලික තත්වයක් වර්ධනය වන බව සඳහන් කළා.