Thursday, December 26, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 25 සීමාව ඉක්මවයි




10 වන පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මහමැතිවරණය අද උදෑසන 07ට ආරම්භ වුණා.

මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම ජනතාව මහත් උද්යෝගයෙන් ඡන්දය භාවිත කරන බවයි වාර්තා වන්නේ.

ගත වූ පැය කිහිපය තුළදී කොළඹ, පොළොන්නරුව, අනුරාධපුර, බදුල්ල, ගාල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 25 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් පැවසුවේ.  

මහමැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී මේ වන විට ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වනවා.

මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354ක් සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඒ අතරින් තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අයදුම් කර තිබූ සංඛ්‍යාව හත් ලක්ෂ 38,050ක්. 
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 225ක් වෙනුවෙන් තරඟවදින අපේක්‍ෂකයින් සංඛ්‍යාව 8,352ක්. ඉන් 5,006 දෙනෙකු ඉදිරිපත් වන්නේ දේශපාලන පක්ෂවලින්.

ස්වාධීන අපේක්‍ෂකයින් ලෙස 3,346 දෙනෙකු තරඟවදිනවා. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර 29ක් වෙනුවෙන් ඉදිරිපත්ව ඇති සංඛ්‍යාව 469ක්.

මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තෝරාගැණෙන අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 29 දෙනෙකු තෝරා ගැනීමටයි නියමිතයි.

මෙවර මහමැතිවරණයේදී වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා ගැනෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 19ක්. ඒ වෙනුවෙන් තරඟවදින අපේක්‍ෂකයින් සංඛ්‍යාව 902ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 18ක් සහ කුරුණෑගලින් 15ක් ලෙස මන්ත්‍රීවරුන් තෝරා ගැනෙනවා. 

අඩුම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා ගැනෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 04ක්. වැඩිම අපේක්‍ෂකයින් සංඛ්‍යාවක් තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයටයි.

එම සංඛ්‍යාව 966ක්. අඩුම අපේක්‍ෂකයින් සංඛ්‍යාවක් තරඟවදින්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 120ක් වනවා. 

නව මහජන නියෝජිතයිනගෙන් සමන්විත 10 වන පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා ආරම්භ වීමට නියමිතයි.