Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය මහ රැජිණගේ අභාවයට බ්‍රිතාන්‍ය සුදානම් වෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එංගලන්තයේ දෙවන එලිසබත් මහ රැජිණගේ අභාවයෙන් පසු සිදුකල යුතු කාර්යන් පිළිබඳව එරට අමාත්‍යවරුන් පසුගිය සතියේදී රහස් පෙරහුරුවක් සිදුකර ඇති බව බ්‍රිතාන්‍යයේ පලවන The Sunday Times පුවත්පත වාර්තා කර සිටිනවා.

මහ රැජිණගේ අභාවයෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ගයන්  "කාසල් ඩෝව් (Castle Dove)" වශයෙන් හදුන්වනු ලබනවා. රැජිණගේ අභාවයෙන් පසු ඒ පිළිබඳව දැනුම් දෙන ආකාරය ගැනද මෙහිදී පෙරහුරුවක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බකිංහැම් මාලිගය විසින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙත රැජිණගේ අභාවය පිළිබඳව දැනුවත් කරනු ලබන නිල සංකේතාත්මක වචනය වන "London Bridge is down" ලෙස දැනුම් දෙන බවත් පසුව අගමැතිධුරය දරන්නා විසින් ඒ පිළිබඳව වන නිල නිවේදනය මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 
 
මේ අතර රැජිණගේ අභාවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දින 10 ක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

බ්‍රිතානයේ The Sunday Times පුවත්පත සඳහන් කරනු ලබන ආකාරයට මෙම පෙරහුරුව සඳහා බ්‍රිතාන්‍යයේ ඇමතිවරුන් සහ සිවිල් සේවා අංශ ප්‍රධානින් රැසක් සහාභාගිවි ඇති බවට වාර්තා කර තිබෙනවා.

මහ රැජිණගේ අභාවයෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ රජ ලෙස පත්කරනු ලබන්නේ චාල්ස් කුමාරයා වන බැවින් ඒ සම්බන්ධයෙන්ද ගත යුතු ක්‍රියා මාර්ග සහ රජ ලෙස පත්කිරීමෙන් අනතුරුව චාල්ස් කුමරු පළමු වරට වේල්ස් සහ ස්කොට්ලන්තයේ සිදුකළ යුතු පළමු නිල සංචාරය පිලිබඳවද මෙහිදී රැස්වූ අමාත්‍යවරුන් කමිටුව සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මහ රැජිණගේ අභාවයේදී එම පුවත විකාශනය කළ යුතු ආකාරය ගැන හා ඒ අවස්ථාවට උචිත ශෝක ජනක සංගීත වාදනයන් ගැන කල්තියා සකස් කර ගන්නා මෙන් රුපවාහිනි සහ ගුවන් විදුලි විකාශන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව Daily mail වෙබ් අඩවිය සඳහන් කරනවා.

දැනට අවුරුදු 92ක් වයසැති දෙවන එලිසබත් මහ රැජිණ පසුගිය සතියේ සිට සිය නිල රාජකාරි වලින් ඈත්වී සිටින බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ. තමන් කකුලේ දණහිස් හි ඇති වන දැඩි වේදනාවකින් පෙලෙන බවත් ඉඳ ගැනීමෙන් අනතුරුව යලි නැගී සිටීමේ අපහසුවක් ඇති බව සිය සමිපතයින්ට පවසා ඇති බවට එම මාධ්‍ය වාර්තා කරන්නේ.

දණහිසේ සැත්කමක් කිරීම සම්බන්ධයෙන් දුන් වෛද්‍ය උපදෙස් පවා ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර එයට හේතුව ලෙස ඇය සඳහන් කරන්නේ සැත්කමින් පසු සුව වීමට කලක් ගත වන නිසා ඇයට තම රාජකාරි වලට සහභාගී නොවී සිටීමට නොහැකි බවට ප්‍රකාශ කර ඇති බවයි The Sun පුවත්පත වාර්තා කරන්නේ.

2016 වසරෙන් අනතුරුව බ්‍රිතාන්‍ය මහ රැජිණ විදෙස් ගමන් සඳහා යාම අවලංගු කළ අතර ඒ සඳහා සිය රජ පවුලේ සාමාජිකයින් සහභාගී කරවීමට කටයුතු කළා. 

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සභාපතිත්වය දැරූ ඇය මේ වසරේදී ඉන් ඉවත්වී එය චාල්ස් කුමරු හට පිරිනැමීමට පියවර ගනු ලැබුවා.

 

මුලාශ්‍රයන් :

The Sun

The Sunday Times