Friday, April 26, 2024

General line - 0115112241

ෆේස්බුක් සමාගම සිංහල-මුස්ලිම් වෛරී ප්‍රකාශනයන් සියල්ල ඉවත් කරයි

දිනුක් හේවාවිතාරණ




ප්‍රචන්ඩත්වය ඇති වන ආකාරයේ වෛරී හා අසත්‍ය පුවත් සිය සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරණය වීම වැළැක්වීම සහ එසේ පළකර තිබෙන පුවත් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.

2018 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ ආගමික හා ජාතිවාදී ගැටුම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය යාමේ සිද්ධියෙන් පසු මෙම තීරණය ගැනීමට ෆේස්බුක් සමාගම තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ද්වේශසහගත ලෙස අදහස් හුවමාරු කිරීම ෆේස්බුක් ආචාර ධර්මයන් උල්ලංඝණය කිරීමක් වශයෙන් දැනටමත් ඔවුන් නම් කර ඇති අතර එවැනි අදහස් සහිත පළකිරීම  ස්වයංක්‍රියව ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම දැනටමත් කටයුතු ආරම්භ කර ඇත.

නමුත් නවතම ප්‍රතිපත්තියට අනුව ප්‍රචන්ඩත්වය ඇති වන ආකාරයේ වෛරී හා අසත්‍ය පුවත් වලට අමතරව එවැනි තත්ත්වයක් ඇති වන ආකාරයේ උසි ගැන්වීමේ අදහස් ගැබ්වී තිබෙන පුවත් පවා ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම මේ අනුව පියවර ගෙන තිබෙනවා.

මෙම තීරණය ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන අතර අවශ්‍ය සියලු කටයුතු ඉදිරි මාස කිහිපයේදී සිදුකරන බවට ඔහු ප්‍රකාශ කර තිබේ.

සිංහල හා මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇතිවන ආකාරයේ පළකර තිබු සහ හුවමාරුවූ පළකිරීම් (Posts) මේ වන විටත් ෆේස්බුක් අඩවියෙන් ඉවත් කරමින් පවතින අතර උදාහරණයක් වශයෙන් ගත්කල පසුගිය සමයේ මතභේදයට තුඩු දුන්  මුස්ලිම් ජාතිකයින් වඳ බෙහෙත් යොදා සිංහල ජනතාවට ආහාර ලබා දෙන බවට සදහන් කරමින් ෆේස්බුක් හරහා පතුරුවන ලද පළකිරීම්ද මේ අතර වනවා.

වෛරී ප්‍රකාශනයන් හදුනා ගැනීම සදහා ෆේස්බුක් සමාගම මෙරට බලධාරීන් සහ ආයතන සමග සමීපව කටයුතු කරන බවයි ඩේලි මේල් වෙබ් අඩවිය සදහන් කරන්නේ.