Friday, April 26, 2024

General line - 0115112241

"එක්වී සිටින්න" වසරකට පසුව අයිඑස් ත්‍රස්ත නායකයා ගෙන් පණිවිඩයක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයේ නායක අබු බක්කර් අල්-බග්ඩාඩි විසින් වසරකට පසුව මුල් වරට හඬ පටයක් මගින් සිය අනුගාමිකයින්ට අද (23) පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

මිනිත්තු 55 ක් පුරා දිව යන මෙම හඬ පටය මගින් සිය අනුගාමිකයින් අමතමින් අයිඑස්  නායකයා සදහන් කර ඇත්තේ " අල්ලා දෙවිදුන් ලබා දුන් ඉලක්කය ගිලිහෙමින් පවතින බවත් සියලු දෙනා එක්ව සිටීම වැදගත් බවයි."

" භීතිය සහ කුසගින්න තුලින් ඔබව පරික්ෂාවට ලක් කරමින් තිබෙනවා. ඕන සියලු දෙනා එක්ව ඉවසීමෙන් සිටීමයි වැදගත්. එසේ සිටින අයට අවසානයේදී ප්‍රීතිමත් පණිවිඩයක් ලැබෙනවා" යනුවෙන් අයිඑස් ත්‍රස්ත නායකයා සිය සාමාජිකයින් වෙත වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

සිරියාවේ සහ ඉරාකය කේන්ද්‍ර කරගනිමින් අයිඑස් සංවිධානය යටතේ පැවති විශාල භුමි ප්‍රදේශයක බලය ඔවුන්ට ගිලිහි තිබෙන මොහොතක ත්‍රස්ත නායකයා නිකුත් හඬ පටය ගැන සියලු ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

" විනාශවූ නගරයක් හෝ භූමියක හිමි වීම හෝ අහිමිවීම පරාජයක් සේ නොසලකන්න. ගුවන් බලය, මිසයිල බලය, ස්මාර්ට් බෝම්බ හෝ ඔවුන් පසු පස සිටින අනුගාමිකයින් ගණන ගැන නොසිතන්න යැයි මුජහිදීන් ඇදහිලිවන්තයිනි" යනුවෙන් වැඩිදුරටත් සදහන් කර ඇති අයිඑස් නායකයා ඉන් සිය අනුගාමිකයින් ඉකුත් කාල වකවානුවේ ලැබූ පරාජයන් අමතක කර යලි නැගී සිටින්න යනුවෙන් පණිවිඩයක් ලබාදී ඇති බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.

මිට පෙර සිරියාවේ රඛ්ඛා හිදී ගුවන් මගින් එල්ලවූ ප්‍රහාරයකින් අයිඑස් නායකයා මියගිය බවට තොරතුරු පලවුවා. කෙසේ වුවත් අමෙරිකානු බලධාරින් සදහන් කරන්නේ තමන් කිසිවිටක ඔහු මියගිය බවට විශ්වාස නොකරන බවයි.