Friday, April 26, 2024

General line - 0115112241

ලොරි රථයක් තුළ තරුණියක් දූෂණය කරයි

කාංචන කුමාර ආරියදාස




ජංගම දුරකථනයෙන් ඇමතුම් ගෙන මිතුරු වූ තරුණියක් ලොරි රථයක් තුළ දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඇයව ගලේවෙල දේවහුව වැව් ඉස්මත්තට ගෙන්වාගෙන ලොරි රථයක් තුළදී මෙලෙස දූෂණයට ලක් කළ බවයි පොලිසියට සඳහන් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සෙබලෙකු සැකපිට ඊයේ (11)  රාත්‍රියේ ගලේවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරගල සිරිපුර ප්‍රදේශයේ පදිංචි තරුණිය ගලේවෙල පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම සෙබලා සැකපිට ගලේවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර බරපතල ලිංගික අපයෝජනය සඳහා යොදාගත් බව කියන ලොරි රථය සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළා පුල්මුඩේ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන බව පොලිසිය පවසනවා. 

ඔහු විසින් නිවාඩු ලබා නිවසට පැමිණ ජංගම දුරකථනය හරහා දැන හඳුනාගත් නුවරගල සිරිපුර  ප්‍රදේශයේ පදිංචි තරුණියව රවටා ගලේවෙල ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබෙනවා.

පසුව මෙම යුධ හමුදා සෙබලා ගලේවෙලට පැමිණි තරුණියව ලොරි රථයක දමාගෙන ගලේවෙල නගරයේ සිට කිලෝමීටර් 07 ක් පමණ දුරකින් පිහිටි දේවහුව ජලාශයේ වැව් තාවුල්ලට රැගෙන ගොස් ඇයට ලිංගික අතවර සිදුකොට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම තරුණිය පොලිසියට කියා ඇත්තේ තවත් තරුණයකු කැඳවා ඔහු විසින්ද තමන්ව දුෂණයට ලක්කිරීමට සූදානම් වෙද්දී තමා එම ස්ථානයෙන් පැන ආ බවයි.

යුදහමුදා සෙබළා විවාහකයෙකු බවත් තරුණිය අවිවාහක බවත් අනාවරණය වී තිබෙනවා.

ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග  ප්‍රනාන්දු කියා සිටියේ ජංගම දුරකතනයකින් හෝ වෙනත් මාර්ගවලින් දැන හඳුනාගත් පරිදි මෙවැනි ගමන් කාන්තාවන් විසින් නොයා යුතු බවයි. එමෙන්ම මෙවැනි අපරාධ සිදු කිරීම සඳහා ඇති ඉඩකඩ වැඩිවීම නිසා වැඩිහිටි කාන්තාවන් මෙන්ම ළමයින් ද අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු යැයි පෙන්වා දෙනවා.