Friday, April 26, 2024

General line - 0115112241

බාලි සහ පැපුවා නිව්ගිනීයාවට ප්‍රභල භූකම්පන දෙකක්

දිනුක් හේවාවිතාරණ




පැපුවා නිව්ගිනියාවේ, නව බ්‍රිතාන්‍ය දුපතේ රිච්ටර් ඒකක 7 ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා. 

නව බ්‍රිතාන්‍ය දුපතේ නිරිත දෙසින් පිහිටි රබාවුල් ගම්මානයේ කිලෝමීටර් 40ක් ගැඹුරින් මෙම භුකම්පනය සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය හේතුවෙන් මීටර් 0.3 ක් උසින් යුත් සුනාමි රළ ප්‍රහාරයක් ඇති විය හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මෙම භූකම්පනය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (11) අලුයම 3.00 ට පමණ සිදුවිය.

සිය වෙරළ කළාපයට සුනාමි අවධානමක් නොමති බව පැපුවා නිව්ගිනියාවට ආසන්නයෙන්ම පිහිටි රට වන ඕස්ට්‍රේලියානු භූ සමීක්ෂණ ආයතනය නිවේදනය කළ බව රොයිටර් පුවත් සේවය සදහන් කරනවා.

මේ අතර අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 12.15 ට පමණ ඉන්දුනීසියාවේ බාලි දුපත් ආශ්‍රිතව රිච්ටර් ඒකක 6 ක අගයකින් යුත් භුකම්පනයක් සිදුව තිබෙනවා. 

බාලි දුපතේ නැගෙනහිර වෙරළ කළාපය ආසන්නයේ සිදුවූ මෙම භුකම්පනයත් සමග එහි වැසියන් සිය නිවෙස් අත්හැර දිවගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මිට සති දෙකකට ඉහතදී ඉන්දුනීසියාවේ සුලාවේසි දුපත ආසන්නයේ සිදුවූ ඒකක 7.5 ක ප්‍රබල භූකම්පනයෙන් හා ඇතිවූ සුනාමි තත්ත්වය නිසා ජිවිතක්ෂයට පත්වූ පිරිස 1800 ඉක්මවා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සම්මන්ත්‍රණය මෙම සතියේදී ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ලොව පුරා සිටින මුදල් අමාත්‍යවරුන් ඇතුළු 19,000කින් යුත් පිරිසක් සහභාගී වීමට නියමිතව සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

මෙම භූකම්පන දෙකෙන් සිදුව ඇති ජිවිත හෝ දේපළ හානි ගැන මේ දක්වා නිල වාර්තාවන් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.