Friday, April 26, 2024

General line - 0115112241

"හැමදාම කියන දේ අහගෙන ඉන්න බෑ" - වෙල්ගම අද රැස්වීමට ගිහින් කියනවාලු

පසන් වික්‍රමතිලක




ඒකාබද්ධ විපක්‍ෂයේ බියගුළු චරිත විසින් තමන්ට එරෙහිව විවිධ ප‍්‍රකාශ නිකුත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා.

කුමාර වෙල්ගම මන්තී‍්‍රවරයා අග‍්‍රාමාත්‍යවරයාගේ ඕනෑ එපාකම් මත කටයුතු සිදුකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (15) මහනුවරදී ප‍්‍රකාශ කළා.

මෙම ප‍්‍රකාශයට කුමාර වෙල්ගම මන්තී‍්‍රවරයා ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

"ඔවුන් කියනවා මම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ඩීල් එකක් දානවා කියලා. ඔය මහින්දානන්දලා..කෙහෙලි රඹුක්වැල්ලලා..ඔක්කොම බිම බලාගෙන ඉන්නකොට මම තමයි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සිරිසේන මහත්තයා ඉස්සරහා UNP එකට විරෝධය පාලා එළියට බැස්ස පළවෙනි ශ්‍රී ලංකා මන්ත්‍රිවරයා. ඔය ඔක්කොම කැමැත්ත දුන්නා හවුල් ආණ්ඩුවකට යන්න. බියගුළු චරිත... "

භාරකාර ආණ්ඩු යෝජනාවට එරෙහිවීම හේතුවෙන් තමන්ට මෙවැනි ප‍්‍රකාශ සිදුකරන බවයි මෙහිදී ඔහු ප්‍රකාශ කළේ. 

අද පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමට තමන් සහභාගි වන්නේ දැයි නෙත් නිවුස් කුමාර වෙල්ගම මන්තී‍්‍රවරයාගෙන් ප‍්‍රශ්න කළා. ඔහු ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

"මම ඕවට සැලෙන්නේ නෑ..තමන්ගේ හිතට එකඟව කෙලින් කතා කරන එක වරදක් ද?. අපිට කියන්නේ හැමදාම ඒ කියන දේ අහගෙන ඉන්නද?. නෑ එහෙම බෑ. අපේ අදහස් අපි නොබියව ප්‍රකාශ කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩුව කාලේ එතුමගේ අදහස් නිදහසේ ප්‍රකාශ කළා. අපිටත් ඒ අයිතිය තියෙන්න ඕනේ. අද තියෙනවා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක්. මං සහභාගී වෙනවා. වෙල්ගමගේ වචන දෙකක් නෑ. මම එතනට ගිහිල්ලා කියන්නෙත් මාධ්‍ය ඉස්සරහා කියපු දේම තමයි."