Friday, April 26, 2024

General line - 0115112241

අතුරුදහන් මාධ්‍යවේදියාගේ ඉරණම විසදුනු හැටි තුර්කි විමර්ශන බලධාරීන් හෙළි කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




මිට සති දෙකකට ඉහතදී අතුරුදහන් වූ මාධ්‍යවේදී ජමාල් කෂෝගී තුර්කියේ පිහිටි සෞදි අරාබි කවුන්සිල් ජෙනරාල් කාර්යාලය තුලදී  ඝාතනය කොට ඔහුගේ සිරුර කැබලි වලට කපා බවට තුර්කි විමර්ශන නිලධාරින් ප්‍රකාශ කළ බවට CNN පුවත් සේවය වාර්තා කර සිටිනවා.

කෂෝගී ඝාතනය කරන්නට ඇති බවට ඔහු සේවය කළ අමෙරිකාවේ නිව් යෝර්ක් පොස්ට් මාධ්‍ය ආයතනය මිට පෙර කරුණු අනාවරණය කර තිබුනා.

පුරා පැය 09ක කාලයක් තුර්කි බලධාරීන් විසින් ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කවුන්සිල් ජෙනරාල් කාර්යාලය සිය නිරීක්ෂණයට ලක් කර ඇති අතර ජමාල් කෂෝගී ගේ සිරුරට කුමක් සිදුවීද යන්න පිලිබදව ඔවුන් මේ දකවා කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවයි CNN පුවත් සේවය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

සිය තුර්කි ජාතික පෙම්වතිය සමග විවාහ වීමට අවශ්‍ය කරනු ලබන ලියවිලි ලබා ගැනීම සදහා මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉකුත් ඔක්තෝම්බර් මස 02 වෙනිදා සෞදි කවුන්සිල් ජෙනරාල් කාර්යාලයට පැමිණ ඇති අතර ඉන් ඔහු පිටව ගිය බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කිරීමට සෞදි බලධාරීන්ට හැකිවී නැහැ.

තුර්කි ජනාධිපතිවරයා කියා සිටියේ විමර්ශන නිලධාරින් සෞදි කවුන්සිල් ජෙනරාල් කාර්යාල පරිශ්‍රය තුල විෂ සහිත ද්‍රවයන් තිබේද යන්න පිලිබදව සහ ගොඩනැගිල්ල තුල අළුතින් තීන්ත ආලේප කර ඇත්ද යන කරුණු පිලිබදව සොයා බැලීම් සිදුකරන බවයි.

" මගේ බලාපොරොත්තුව වන්නේ හැකි ඉක්මනින් අපට සාධාරණ මතයක් ලබා දිය හැකි නිශ්චිත සාධක ලබා එක් රැස් කර ගැනීමයි. එම කාර්යාලය තුල විෂ සහිත ද්‍රවයන් තිබුනේද එමෙන්ම ගොඩනැගිල්ල තුල ඇති බිත්ති ඇතුළු භාණ්ඩ තීන්ත ආලේප කොට ඇත්ද යන්න ගැන විමර්ශන නිළධාරීන් සොයා බලන බව" තුර්කි ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

තුර්කි විමර්ශන නිලධාරීන් කවුන්සිල් ජෙනරාල්  කාර්යාලය පරික්ෂා කිරීමට පෙර පිරිසිදු කිරීමේ කණ්ඩායමක් එම ගොඩනැගිල්ලෙන් පිටව යන අයුරු තම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දුටු බවට CNN පුවත් සේවය වාර්තා කර සිටිනවා.

සෞදි කවුන්සල් ජෙනරාල්වරයාගේ නිල නිවසද පරික්ෂා කිරීමට තුර්කි බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නමුත් සෞදි කවුන්සිල් ජෙනරාල් මොහොමඩ් ඔටායිබි ඊයේ (16) තුර්කියෙන් පිටව ගොස් ඇති බව එරට මාධ්‍ය සදහන් කර සිටිනවා.

මේ අතර මාධ්‍යවේදී ජමාල් කෂෝගී සම්බන්ධයෙන් කරුණු සාකච්ජා කිරීම සදහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ උපදෙස් මත සෞදි අරාබියට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සෞදියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමිකුමරු මොහොමඩ් බින් සල්මාන් මුණගැසී සාකච්ජා කර තිබෙනවා.

එම හමුවීම් වලදී සෞදි රජු සහ ඔටුන්න හිමිකුමරු මාධ්‍යවේදියාගේ ඝාතන චෝදනාවන් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 
(තුර්කි විමර්ශන නිලධාරින් පැමිණීමට පෙර CNN මාධ්‍ය කණ්ඩායමේ ඇස ගැටුණු සෞදි කවුන්සිල් ජෙනරාල් කාර්යාලයේ පිරිසිදු කරන කණ්ඩායම)