Friday, April 26, 2024

General line - 0115112241

නිරීක්ෂණ සංවිධාන නැවතත් සිය අප‍්‍රසාදය පළ කරයි

සමන්ත කුමාර/ලහිරු කපුගේ/මාධව කුලසූරිය




පළාත් සභා නවයෙන් හයකම නිල කාලය අවසන්ව තිබියදීත් පළාත් සභා මැතිවරණය මෙතෙක් නොපැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නැවතත් සිය අප‍්‍රසාදය පළ කරනවා.

උතුරුමැද, සබරගමුව, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත් සභාවල නිල කාලය මීට පෙර අවසන් වූ අතර එම පළාත් සභාද මේ වනවිට පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේයි. මෙය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි නරක පැවැත්මක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අවධාරණය කළා. 

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මේ බව පෙන්වා දෙනවා. 

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ වගකිව යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මැතිවරණ නොපවත්වා පළාත් සභා නිලධාරීන් යටතේ පාලනය කිරීම ඒකාධිපතීත්වයට සමාන බව මැතිවරණ කොමිසම ද පවසනවා.

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික තත්ත්වය කඩිනමින් සකස් කර දෙන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලින් නැවත ඉල්ලා සිටින බවයි ඔවුන් අවධාරණය කළේ. 

පළාත් සභා මැතිවරණය පැවති මානප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස සහ සමානුපාත මිශ‍්‍ර ක‍්‍රමයකට පැවැත්වීමට මේ වනවිට නීති සම්පාදනය කර තිබෙනවා. එහෙත් ඒ සඳහා අවශ්‍ය පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණයන් තවමත් අවසන් කර නැහැ. 

මේ අතර උතුරු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා. මෙම පළාත් සභාව පළමු වරට රැස්වුණේ 2013 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදායි. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් එහි මහ ඇමතිවරයා ලෙස කටයුතු කරනවා. 

උතුරු පළාත් සභාවේ මුළු සභික ධුර ගණන 38ක්. දෙමළ ජාතික සන්ධානයට 30ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 7ක් සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට එකක් වශයෙන් ඒවා බෙදීගොස් තිබුණා. එහි අවසන් රැස්වීම පැවැත්වුණේ ඊයේ (23) දිනයේදීයි. 

අද මධ්‍යම රාත‍්‍රියෙන් උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසු එහි කාර්ය හා කර්තව්‍ය ද සියලූ බලතල ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට පැවරෙනවා. මේ වනවිට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන්නේ රෙජිනෝල්ඞ් කුරේයි.