Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය 08 දක්වා දීර්ඝ කෙරේ

දිනුක් හේවාවිතාරණ / අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදුන් නියෝගය මේ මස 08 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊට පෙර එම අත්හිටුවීම දෙසැම්බර් 07 වනදා දක්වා ලබාදී තිබුනේ.

ඒ අනුව  එම ගැසට් පත්‍රයේ සදහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම වළකාලමින් මැතිවරණ කොමිෂන් සභාවට ද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය ද  දෙසැම්බර් මස 8 දා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.
ඒ අනුව පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාග කිරීම හෙටට (07) කල් තබන ලදී .

මැදිහත්කාර පෙත්සම්කරුවන්ගේ වාචික දේශන හෙට දින සලකා බැලීමට නියමිතය. එම පෙත්සම් වලින්  නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ඇතුළු එම කොමිෂන් සභාවේ සාමාජිකයන් වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත .

එම පෙත්සම් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රසය , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු  පක්ෂ සහ පුද්ගලයින් 12 ක් විසින් ගොනු කර ඇත .