Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක්

දිනුක් හේවාවිතාරණ / තරංග රුක්ෂාන් ජයසේකර




රජයේ සේවකයින්ගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ  මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500කින් ඉහළ යන අතර ඉහළම නිලධාරියාගේ වැටුප රුපියල් 10,000න් වැඩි වන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.

2015 වසරේදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළදී වාරික 05ක් යටතේ මූලික වැටුපට ගැලපීමට රජය තීරණය කරනු ලැබුවා.

ඒ අනුව එහි පියවරක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2019 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2500 - 10,000ක් අතර ප්‍රමාණයකින් වැඩිවීමට නියමිතයි.

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ අවසන් පියවර 2020 වසරේ ජනවාරි මාසයේ සිදු කෙරෙන අතර එම වසරේදී ද ඔවුන්ගේ මූලික වැටුප රුපියල් තවත් 2500 - 10,000 අතර ප්‍රමාණයකින් වැඩි කෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

ඒ අනුව රාජ්‍ය සේවයේ අවම වැටුප 2020 වසරේ ජනවාරි මාසය වන විට රු. 35,000ක් වනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

මෙහිදී ණය ලබා ගැනීමේදී සහ විශ්‍රාම වැටුප් සකස් කිරීමේදී රාජ්‍ය සේවකයින්ට වාසි සැලසෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.