Friday, April 26, 2024

General line - 0115112241

සිංහරාජයෙන් පසු තවත් වනාන්තර කිහිපයක් ගැනත් අවධානය

තරංග රුක්ෂාන්/ මහේෂ් චතුරංග




ඉදිරියේදී සිංහරාජ වනාන්තරය පමණක් නොව සෙසු ජාත්‍යන්තර සහ පාරිසරික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයකම සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට 'වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව' සැලසුම් කර තිබෙනවා.

මෙම කටයුත්ත සිදු කෙරෙන්නේ පාරිසර හිතකාමී ලෙසයි. එහි එක් පියවරක් ලෙස සිංහරාජ වනාන්තරය හරහා ඉදි කෙරෙන මාර්ගය හැඳින්විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

ඒ අනුව ඉදිරි සැලසුම් පිළිබඳ පැහැදිලි කළ 'වන සංරක්ෂක' ජනරාල් අනුර සතුරුසිංහ පැවසුවේ "ඉදිරියේදී පරිසර හිතකාමී ලෙස මෙරට ඇති අනෙකුත් පාරිසරික වශයෙන් වැදගත් ස්ථානද මෙලෙස සංවර්ධනය කෙරෙනවා.  මෙම සංවර්ධන කිරීම් හරහා සිංහරාජ ඇතුළු අනෙකුත් වනාන්තරවලට කිසිදු හානියක් සිදු වන්නේ නෑ." යනුවෙනි. 

කෙසේ වෙතත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රටට වැරදි ආදර්ශ සපයමින් ඇති බවයි පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය චෝදනා කරන්නේ. එය රටට කිසිසේත්ම අනාගතයේ දී සුබදායක නොවනු ඇතැයි එහි සම්බන්ධීකාරක පූජ්‍ය වෑකඳවල රාහුල හිමියන් පැවසුවා. 

සිංහරාජය හරහා මෙම මාර්ගය ඉදි කෙරෙන්නේ ලෝක බැංකුවේ එස්කෑම්ප් ව්‍යාපෘතියක යෝජනා මතයි. සිංහරාජයට අමතරව බූන්දල, නකල්ස්, ලූණුගම්වෙහෙර, ගල්ඔය, යාල, උඩවලව, විරක්කුලිචොලෙයි, වන්නියගම, ගටදිවුල සහ හුරුළුවැව යන රක්ෂිත ප‍්‍රදේශ ද මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවදානමට පත්ව ඇති බවයි පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ. 

'වන සංරක්ෂණ හා වනජීවි අමාත්‍යංශයට' අයත් මෙම රක්ෂිත ප‍්‍රදේශ කිහිපයක නොයෙක් ඉදිකිරීම් සඳහා අනුමැතිය ගැනීමට ලෝක බැංකුව 2011 සිට උත්සහ දරා ඇති බව පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පැවසුවා.

මතභේදයට තුඩු දී ඇති මාර්ගය ඉදි කෙරෙන සිංහරාජ වනාන්තරය ලෝක උරුම වනාන්තරයක්. එය රැක ගැනීම වචනයට පමණක් සීමා නොකර ක‍්‍රියාවෙන්ම ඔප්පු කිරීමට නෙත් එෆ්. එම්. රේඩියෝව දැනටමත් කටයුතු කර අවසන්.

ඒ අනුව අපගේ උත්සහය වන්නේ සිංහරාජය සහ කන්නෙලිය රක්ෂිත යා කරමින් අලුතින් වනාන්තර කොරිඩෝවක් සකස් කිරීමයි. ඒ සඳහා අලූතින් රෝපණය කිරීමට අපේක්ෂිත ගස් සංඛ්‍යාව 25,000ක්. ඔබට ද දායක විය හැකි මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර 072 7 372 372 දුරකතක අංකයෙන් ලබාගත හැකියි.