Friday, April 26, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ උණුසුම් කළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

තරංග රුක්ෂාන් ජයසේකර




මිනුවන්ගොඩ දුනගහ ප‍්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකු, තරුණයෙකු පැදවූ තවත් යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවයි. 

ඊයේ (10) රාත‍්‍රියේ සිදුවූ අදාළ අනතුරෙන් පසු කටුනායක පොලීසියට අනුයුක්ත මෙම පොලිස් නිලධාරියා යතුරු පැදියේ ගැටුනු තරුණයාට සිය රාජකාරී ගිනිඅවිය පෙන්වා පහරදී තිබෙනවා. පසුව ඒ අසල සිටි තවත් තරුණයික් පිරිසකට මෙම පොලිස් නිලධාරියා ගිනි අවිය පෙන්වා පහරදී ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. අදාළ සිද්ධියෙන් පසු සැකකාර පොලිස් නිලධාරියා අසල පිහිටි සිය ඥාති නිවෙසක සැගවී ඇති අතර ප‍්‍රදේශවාසීන් එහි පැමීණීමත් සමග හට ගත්තේ උණුසුම් තත්ත්වයක්.

පසුව මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් පැමිණ සැකකාර පොලිස් නිලධාරියා සිය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණි පිරිස සහ පොලිස් නිලධාරීන් අතර එහිදී ද ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. 

පසුව තත්ත්වය සමථයකට පත් කිරීමට වේයන්ගොඩ, ගම්පහ, ගනේමුල්ල සහ නිට්ටඹුව යන පොලීසිවල නිලධාරින්ට ද පැමිණීමට සිදුවුණා. මේ අතර නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සැකකාර පොලිස් නිලධාරියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තිදෙනෙකු මිනුවන්ගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි. මේ, ඔවුන් මාධ්‍ය වෙත පළ කළ අදහස්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සැකකාර පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.