Friday, April 26, 2024

General line - 0115112241

මීගමුවෙන් පිටත් වූ යාත්‍රාවක් 72ක් සමග රීයුනියන් දූපතට යයි




මීගමුව ධිවර වරායෙන් මුහුදු ගිය 'වේ ප්‍රශංශා' නැමැති බහුදින ධිවර යාත්‍රාව හලාවත මුහුදේදී පුද්ගලයින් 72ක් නංවා ගනිමින් ප්‍රංශයට අයත්  රීයුනියන් නැමැති දුපතට ළගා වී ඇති බව වාර්තා වෙනවා.

මෙම යාත්‍රාව මීගමුව ධිවර වරායෙන් මුහුදු ගොස් ඇත්තේ පසුගිය ජනවාරි 09 වැනි දිනයි. ඒ අනුව  දින විසිපහක කාලයක් තුළ මෙම යාත්‍රාව රීයුනියන්  දුපතට ළගා වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම බහුදින යාත්‍රාව සුදර්ශන් පෙරේරා නැමැති හලාවත ධිවර ව්‍යාපාරිකයෙකුට අයත් අතර යාත්‍රාව පැදවීම සිදු කර ඇත්තේ මහවැව තොඩුවාව පදිංචි එම්.සි.කේ .ප්‍රනාන්දු නැමැති අයෙක්. ඔහු ඇතුළු යාත්‍රාවේ සේවකයන් මෙම ජාවාරම පිටුපස සිටින බවට බහුදින යාත්‍රාවේ හිමිකරු මේ වන විට මිගමුව පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

පසුගිය 09 වැනි දින යාත්‍රාවේ හිමිකරු යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන, අයිස්, අහාර ආදිය ලබා දී යාත්‍රාව පිටත් කර තිබුණා. ඉන් අනතුරුව මේ ජාවාරම සිදුවී ඇති බවටයි පැවසෙන්නේ.

පිරිස අතර මෙම යාත්‍රාවේ නියමුවාගේ පවුලේ සියලු දෙනා ඇතුළු කාර්ය මණ්ඩලේ ඇතැම් සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ද සිට ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. පිරිස අතර කුඩා දරුවන් හා කාන්තාවන්ද සිට ඇති බවත් සඳහන්.

කාර්ය මණ්ඩලයෙන් හැර අනෙක් සියලු දෙනාගෙන් රුපියල් ලක්ෂ හයේ සිට ලක්ෂ දහය දක්වා මුදල් එකතු කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.