Friday, April 26, 2024

General line - 0115112241

රිසානාගේ සිද්ධිය මතක් කරමින් මෙරටින් ගිය නීතිඥයින්ට ඇති සීමා 'ඩුබායි - ශ‍්‍රී ලංකා' කොන්සාල් කාර්යාලයේ හිටපු කම්කරු උපදේශක කියයි

හේමන්ත කහවලගේ/ තරංග රුක්ෂාන්/පසන් වික්‍රමතිලක




මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිසෙන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙරටින් නීතීඥ කණ්ඩායමක් පිටත්ව ගියද ඔවුන්ට කළ හැකි මැදිහත්වීම සීමාසහිත වී තිබෙනවා.

ඒ එරට සිදුවන නඩු කටයුතුවලට වෙනත් රටක නීතීඥවරයෙකුට ඍජුවම මැදිහත් වීම නොහැකි වීම හේතුවෙන්. ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිසෙන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටීමට මෙරට නීතීඥවරු පිරිසක් පිටත්ව යාම සම්බන්ධයෙන් ද මේ දිනවල කතාබහක් මතුව තිබෙනවා. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිමය කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා.

එහිදී අදහස් දැක්වූ ඩුබායි - ශ‍්‍රී ලංකා කොන්සාල් කාර්යාලයේ හිටපු කම්කරු උපදේශකවරයෙකු වන එල්. කේ. රුහුණගේ සඳහන් කළේ "මෙරට නිතීඥයින්ට හැකියාව තියෙන්නේ එරට නිතීඥ සමාගමක් මාර්ගයෙන් මේ නඩුවට මැදිහත් වෙන්නයි. අපේ නිතීඥවරුන්ට ඒ රටේ අධිකරණවල පෙනී සිටීම සඳහා නීතිමය බලයක් නෑ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් තියෙන්නේ ශරියා නීතිය. " යනුවෙනි. 

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයක පෙනී සිටීමට මෙරටින් ගිය නිතීඥ කණ්ඩායමට කිසිඳු හැකියාවක් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 


රටේම අවධානය යොමුවූ රිසානා නාෆික්ගේ සිද්ධිය මෙහිදී උදාහරණයකට ගත හැකි බව ඩුබායි - ශ‍්‍රී ලංකා කොන්සාල් කාර්යාලයේ හිටපු කම්කරු උපදේශකවරයෙකු වන එල්. කේ. රුහුණගේ ප‍්‍රකාශ කළා.

එහිදී "රිසානාගේ සිද්ධියට මැදිහත් වෙන්න අපේ රටේ කිසිම නිතීඥයෙකුට පුළුවන් වුණේ නෑ. ලංකාවෙන් ගිය නිතීඥයින්ට බොහෝවිට මේ අත්අඩංගුවේ සිටින සැකකරුවන් පවා බැලීමේ හෝ සාකච්ඡා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. එහේ තිබෙන නිතීඥ සමාගමක් හා සම්බන්ධ වෙන්න තමයි හැකියාවක් ලැබෙන්නේ." යනුවෙන් සඳහන් කළා.

කිසියම් සැකකරුවෙකු මුණ ගැසීමට, සාකච්ඡා කිරීමට හා අධිකරණ කටයුතු සඳහා මැදිහමත්වීමට ඉඩ ලැබෙන්නේ එරට සිටින ශ‍්‍රී ලංකා තානාපති නිලධාරීන්ට පමණක් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ සඳහා ද නිසි අවසරයක් ලබා ගැනීම අනිවාර්යය වනවා.