Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාව යුධ ශක්තිය ඉහළ නංවයි : රුසියාවෙන් න්‍යෂ්ටික සබ්මැරීනයක් ලබා ගන්න ගිවිසුම් අත්සන් තබයි

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාව විසින් වසර 10ක කාලයක් සඳහා රුසියාවෙන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් බදු ගිවිසුමක් යටතේ ලබා ගැනීමට සමත්ව තිබෙනවා. "චාරකා III" යනුවෙන් නම් කර ඇති මෙම සබ්මැරීනය රුසියාව විසින් ඉන්දියාවට ලබාදෙන තෙවන සබ්මැරීනය බවයි එරට ආරක්ෂක අංශ වාර්තා කරන්නේ.

මෙම බදු ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුම මේ වන විට අත්සන් තබා අවසන් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

2025 වර්ෂය වන විට "චාරකා III" නම්වූ සබ්මැරීනය ඉන්දියාවට ලබාදීමට රුසියාව අවබෝධතා ගිවිසුම අනුව එකඟවී ඇත. චීනය විසින් ඉන්දීය සාගර කළාපයේ සිය අණසක පැතිරවීමට ක්‍රියා කිරීමත් සමග ඉන්දියාව ද සිය නාවික හමුදාවේ සන්නද්ධ ශක්තිය වැඩිදියුණු කිරිමේ කඩිනම් ක්‍රියා මාර්ගයන්ට එළඹ තිබේ.

1988 වර්ෂයේ පළමු වරට ඉන්දියාව විසින් "චාරකා I" ලෙස නම් කරන ලද සබ්මැරීනය රුසියාවෙන් තෙවසරල බදු ගිවිසුමක් යටතේ ලබා ගනු ලැබූ අතර 2012 වර්ෂයේදී "චාරකා II" යනුවෙන් නම් කරන ලද රුසියානු සබ්මැරීනය වසර 10ක කාලයක බදු ගිවිසුමක් යටතේ ලබා ගනු ලැබුවා.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී රුසියානු ජනාධිපති වලැදිමීර් පුටින්ගේ ඉන්දියානු සංචාරය අතර වාරයේදී ඉන්දියාවට S-400 වර්ගයේ මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබා දීමේ ගිවිසුමකටද දෙරටේ නායකයින් අත්සන් තැබුවා.