Friday, April 26, 2024

General line - 0115112241

පන්දු යවන්නන් ගෙන දුන් ජය දික්වැල්ලේගේ අතින් ගිලිහි යයි : සුපිරි ඕවරයෙන් තරගයේ ජය පැරදුම විසදුනු හැටි (PHOTOS / VIDEO)

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව සමග පැවති පළමු විස්සයි 20 තරගය තීරණාත්මක සුපිරි ඕවරයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (19) සමත් විය. ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ලකුණු සමවීම හේතුවෙන්.

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනාව අනුව මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 134 ක් රැස් කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිදු මෙන්ඩිස් පන්දු 29ක් තුලදී ලකුණු 41ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 19 ක් සහ අවිශ්ක ප්‍රනාන්දු හා ඇන්ජලෝ පෙරේරා ලකුණු 16ක් බැගින් ලබා ගනිමින් පිත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායාමේ ලකුණු පුවරුවට සිය දායකත්වය ලබා දුන්නා.

එක්දින තරගාවලියේ අවසන් තරග තුනෙන් ඉවත් කරනු ලැබූ නිරෝෂන් දික්වැල්ල යලිත් සුපුරුදු පරිදි තමන්ට ලබා දුන් අවස්ථාවෙන් නිසි ප්‍රයෝජනයක් නොගෙන ඩේල් ස්ටේන් විසින් යැවු තරගයේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ද දෙවැනි පන්දු ඕවරයේදී  ලකුණු නොලබා දැවී යාම ශ්‍රී ලංකා ඉනිමේ ඇද වැටීමට ප්‍රබල හේතුවක් විය.

ලකුණු 135 ක ඉලක්කයක් හඹා යාමට පැමිණි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට එරෙහිව ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් මනා පාලනයකින් යුතුව පන්දු යැවීම හමුවේ ඔවුන්ට සිතු පරිදි ජයග්‍රහණය ලබා ගැනීමට ලෙහෙසි නොවිය.

දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු පන්දු ඕවර 10 අවසානයේදී ලකුණු පුවරුව දිස් වුයේ කඩුලු 3ක් දැවී ලකුණු 58ක් ලෙසයි. ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි ඩේවිඩ් මිලර් හා වෑන් ඩේර් ඩුසෙන් දකුණු අප්‍රිකාව ක්‍රමක් ක්‍රමයෙන් තරගයේ ජයග්‍රහණය කරා රැගෙන ආවේ පන්දු 42ක් තුලදී සිවු වෙනි කඩුල්ලට අගනා ලකුණු 66ක සම්බන්ධතාවයක් පවත්වමින්ය.

ඉසුරු උදාන විසින් යැවු තරගයේ 15 වන පන්දු ඕවරයේදී ඩේවිඩ් මිලර් හතරේ පහරවල් 3ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 20ක් ලබා ගත් අතර එය හැරෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට රිසිසේ ලකුණු කරා යාමට ඉඩ නොදුන්නේ දැඩි පීඩනයක් ගෙන දෙමින්ය.

සිය විස්සයි 20 තරගවල අත්දැකීම් බහුලත්වය මනාව ප්‍රයෝජනයට ගත් ලසිත් මාලිංග යැවු 17 වෙනි පන්දු ඕවරයේදී වෑන් ඩේර් ඩුසෙන් ලකුණු 34කට දවා ගත් අතර එම ඕවරයේදීම ඩේවිඩ් මිලර් ලකුණු 41කට දුවද්දී දවා ගැනීමට සමත් විය. ඒ වන විට දකුණු අප්‍රිකාවට තරගය ජය ගැනීමට අවශ්‍යව තිබුනේ පන්දු 18 ක් තුලදී ලකුණු 16ක් පමණයි.

ධනංජය සිල්වා විසින් යැවු තරගයේ 18 වෙනි ඕවරයේදී ලකුණු 10ක් රැස් කර ගත් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට ජයග්‍රහණය සඳහා අවසන් ලකුණු 8ක් ලබා ගැනීමට තවත් පන්දු ඕවර දෙකක් ඉතිරිව තිබුනා. 

තරගයේ සිය අවසන් පන්දු ඕවරය යැවීමට පැමිණි ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට එක් ලකුණක් පමණක් ලබා දෙමින් කගීසෝ රබාඩාගේ කඩුල්ල දවා ගනු ලැබුවේ අවසන් පන්දු ඕවරය යැවීමට ඉසුරු උදානට අවස්තාව උදාකර දෙමින්ය.

තමන් යැවු 15 වෙනි ඕවරයට වඩා වෙනස්ම ආකාරයක පන්දු යැවීමක නිරතවූ ඉසුරු උදාන ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිලිබදව බලාපොරොත්තුවක් ඇති කරවමින් අවසන් ඕවරයේ පළමු පන්දු 5 තුලදී ලකුණු 3ක් පමණක් ලබා දුන් අතර ඒ අතර වාරයේදී ජේ.පි.ඩුමිනි දුවද්දී දවා ගැනීමට ද සමත්විය. කෙසේ වුවත් අවසන් පන්දුවේදී ලකුණු 2ක් ලබා ගැනීමට අවශ්‍ය තිබියදී උදාන විසින් යැවු පන්දුව පිතිකරණ අන්තයේ සිටි ඉම්රාන් තාහිර් ගේ පිත්තෙන් ගිලිහෙනවාත් සමග පිතිකරුවන් එක් ලකුණක් ලබා ගත් අතර කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලට ඩේල් ස්ටේන්ව පහසුවෙන්ම දුවද්දී දවා ගැනීමේ අවස්ථාවක් ගිලිහී ගියේ ශ්‍රී ලංකාවට පහසුවෙන්ම තරගය ජයගැනීමට තිබු ඉඩ හරස් කරමින්ය.

ඉන් පසුව පැවති සුපිරි ඕවරයේදී මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලසිත් මාලිංග යැවු ඕවරයට ලකුණු 14ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට ඉම්රාන් තාහිර් යැවු සුපිරි ඕවරයේදී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 05ක් පමණි.

තරගයේ කැපී පෙනෙන පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග සිය පන්දු ඕවර 4 තුලදී ලකුණු 11ක් පමණක් ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.