Friday, April 26, 2024

General line - 0115112241

අල්ලස් ගත් වැඩ පරීක්ෂකට සිවු වසරක සිර දඬුවමක්

දිනුක් හේවාවිතාරණ




කළුතර නගර සභාවට අයත් වාහන රක්‍ෂණය කිරීමට සහය ලබාදීම සඳහා රක්‍ෂණ නියෝජිතයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරීවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කරනු ලැබුවා.

විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 2500/-ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරු අල්ලස් වශ්‍යයෙන් ලබාගත් රුපියල් 15000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කරනු ලැබුවා.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන ලෙස අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ඩබ්.එම්.ටී.ඞී. බණ්ඩාර කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කර සිටියා.

විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කළුතර නගර සභාවේ හිටපු වැඩ අධිකාරී චේතිය හසිත් මුණසිංහ නමැත්තාටය.
කළුතර නගර සභාවට අයත් වාහන රක්‍ෂණය කිරීමට සහය ලබාදීම සඳහා රක්‍ෂණ නියෝජිතයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියළුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.