Friday, April 26, 2024

General line - 0115112241

IS සංවිධානය සිරියාවෙන් අතුගා දමයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියාවේ කි‍්‍රයාත්මක අයි එස් සටන්කාමීන් පරාජය කළ බව අමෙරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාව අද (23) ප‍්‍රකාශ කළා. ඒ අනුව අයි එස් සටන්කාමීන් විසින් සිරියාව තුළ ප‍්‍රකාශයට පත්කර තිබූ ඉස්ලාමීය රාජ්‍යය ද අවසන් බවයි එම හමුදාව වැඩිදුරටත් පැවසුවේ. 
අයි එස් සටන්කාමීන් හට සිරියාව තුළ ඉතිරි වූ අවසන් බලකොටුව වූයේ එරට නැගෙනහිර කලාපයේ පිහිටි බැග්හූස් නගරයයි.

එම නගරයේ බලය අල්ලා ගැනීම සඳහා අමෙරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාව මේ මස මුල් භාගයේදී ප‍්‍රභල මෙහෙයුමක් ආරම්භ කළා. එහිදී අයිඑස් සටන්කාමීන් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගෙන සිටි බැවින් මෙහෙයුම් සෙමින් කි‍්‍රයාත්මක කිරීමට හමුදාවන්ට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පසුව හමුදාවන් විසින් සිවිල් වැසියන් මුදා ගැනුණු අතර එම පිරිස අතර සිටි බහුතරයක් කාන්තාවන්, කුඩා ළමුන් සහ විදෙස් ජාතිකයින් බව සඳහන්. පසුව මෙහෙයුම්වල අවසන් භාගයේදී අයිඑස් සටන්කාමීන් මරාගෙන මැරෙන ප‍්‍රහාර සහ මෝටර් රථ බෝම්බ ප‍්‍රහාර එල්ල කර තිබුණා.

කෙසේවෙතත් ඊයේ එල්ල කළ ප‍්‍රභල ප‍්‍රහාර හමුවේ අයිඑස් සටන්කාමීන් යටතේ පැවැති බැග්හූස් නගරය සම්පූර්ණයෙන් මුදා ගත් බවත්, සිරියාව අයිඑස් සටන්කාමීන්ගෙන් නිදහස් කළ බවත් හමුදාව ප‍්‍රකාශ කළා. එහෙත්, නයිජීරියාව, යේමනය, ඇෆ්ගනිස්තානය හා පිලිපීනය යන රටවල තවමත් අයිඑස් තර්ජන පවතින බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.