Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ මිසයිල අත්හදා බැලීම් නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අනතුරේ - නාසා ආයතනය පවසයි

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාව විසින් සිදුකරනු ලබන මිසයිල අතහදා බැලීම් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අමෙරිකාවේ නාසා ආයතනය සදහන් කරනවා.

නාසා ආයතනයේ ප්‍රධානි ජිම් බ්‍රිඩස්ටයින් සඳහන් කර සිටින්නේ ගතවූ දින 10ක කාලය තුලදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සුන්බුන් ගැටීමේ ඇති ප්‍රමාණය සියයට 44කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. 

පසුගිය මාර්තු 27 වනදා ඉන්දියාව විසින් අත්හදා බලන ලද " ශක්ති මෙහෙයුම" නම් මිසයිලය සම්බන්ධයෙන් මෙහිදී නාසා ආයතනයේ ප්‍රධානියා විවේචනාත්මකව අදහස්  ප්‍රකාශ කර ඇත්තේ අභ්‍යවකාශයට එමගින් සුන්බුන් එකතු වීම හරහා ඇති වන බලපෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින්ය.

මෙවැනි මිසයිල අත්හදා බැලීම් සිදුකරනු ලබන ලොව සිව් වන රට වන්නේ ඉන්දියාවයි. ඉකුත්දා ඉන්දියාව විසින් අත්හදා බලන ලද ශක්ති මිසයිලය මගින් ඉන්දියාවට අභ්‍යවකාශයේ බලය හිමි බවට අගමැති නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කර සිටියා.

නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ තිබෙන සුන්බුන් කොටස් 400 ක් හඳුනාගෙන ඇති බවත් විශ්කම්භය සෙන්ටිමීටර් 10ට වඩා විශාල කොටස් 60 ක් ඒ අතර ඇති බවට අනාවරණය කර ගෙන ඇත. ඉන් කොටස් 24ක් මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සෘජු බලපෑමක් එල්ලවීමේ අවධානමක් ඇති බවයි නාසා ආයතනයේ ප්‍රධානියා පවසන්නේ.

ඉන්දියාව විසින් සිදුකරන ලද අත්හදා බැලීමෙන් පසුව අමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය ඉදිරියේදී අභ්‍යවකාශය තුල "අවුල් ජාලයක්" ඇති කිරීමක් විය හැකි බවත්, සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙන ඉන්දීය ආරක්ෂක පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ තමන් එම මිසයිලය ඉහළ අභ්‍යවකාශය තුලදී පරික්ෂාවට ලක් නොකල බවයි.