Friday, April 26, 2024

General line - 0115112241

කුරුණෑගල සැකකාර වෛද්‍යවරයා CIDය භාරයට - තවත් රෝහල්වල සේවය කළ බවටත් තොරතුරු

හේමන්ත කහවලගේ / මොහොමඞ් ෆසාල්




සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගලදී අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා. සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පැවසුවේ. සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේවනවිට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි රෝහලේ අධ්‍යක්‍ෂවරයා අද (25) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ. 

එම වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ සේවය කිරීමට පෙර තවත් රෝහල් කිහිපයක සේවය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඔහුගෙන් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් මේ දක්වා එම වෛද්‍යවරයා සිදු කළ සීසේරියන් සැත්කම් පිළිබඳ තොරතුරු ඇසුරෙන් එහි සත්‍ය, අසත්‍යතාව සොයා බැලිය හැකි බවයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පැවසුවේ.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ද විස්තර කෙරුණා. 

අත්අඩංගුවට ගැනුණු මෙම වෛද්‍යවරයා සිදු කළ සීසේරියන් සහ නාරිවේද සැත්කම්වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවුයේයැයි සැකකරන කාන්තාවන් සිටීනම් ඒ පිළිබඳ තොරතුරු දැනුම් දෙන ලෙසයි  කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂවරයා මෙහිදී ඉල්ලීමක් කළේ. 

මේ අතර සැකකාර වෛද්‍යවරයා ඉකුත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළ අයෙකු බව ද සමාජ ජාල ඔස්සේ වාර්තා පළ වනවා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නැහැ.