Friday, April 26, 2024

General line - 0115112241

ඉරානය එකට එක කිරීමෙන් රටවල් අතර අර්බුදය වැඩි වෙයි

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හෝමූස් සමුද්‍ර සන්ධියේ යාත‍්‍රා කරන බි‍්‍රතානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර නෞකාවල ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුව ඇතැයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ හෝමූස් සමුද්‍ර සන්ධියේ යාත‍්‍රා කරමින් තිබූ බි‍්‍රතාන්‍යය ධජය සහිත ස්ටෙනා ඉම්පෙරෝ නැමැති ඉන්ධන ප‍්‍රවාහන නෞකාව, ඉරානය සිය භාරයට ගැනීමත් සමගයි.

රටවල් අතර හටගෙන ඇති රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදය තවත් තීව‍්‍ර කරමින්, බි‍්‍රතාන්‍ය නෞකාව සිය භාරයට ගත් අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් ඉරානය විසින් මාධ්‍යයට මුදා හැර තිබෙනවා. කලූ මුහුණු ආවරණ පැළඳගත් ඉරානයේ විප්ලවීය හමුදා සාමාජිකයින් පිරිසක් හෙලිකොප්ටර් යානයක් හරහා බි‍්‍රතාන්‍ය නෞකාවට ගොඩ බසින අයුරු එම වීඩියෝ පටයේ ඇතුළත්. හමුදා සාමාජිකයින් පිිරිස නෞකාවට ගොඩ බසින තෙක් ඉරාන කුඩා බෝට්ටු කිහිපයක් නෞකාව ආසන්නයේ යාත‍්‍රා කරමින් තිබෙන අයුරු ද එම වීඩියෝ පටයේ දැක්වෙනවා. 

බි‍්‍රතාන්‍ය නෞකාව අත්පත් කර ගැනීම සාධාරණීකරණය කරමින් ඉරානය පැවසුවේ, එම නෞකාව ජාත්‍යන්තර සමූද්‍රීය නීති උල්ලංඝණය කළ බවයි. ඉරානය භාරයට පත් බි‍්‍රතාන්‍ය ධජය රැගත් අදාළ නෞකාවේ අයිතිය පවතින්නේ ස්වීඩනයේ නැව් සමාගමක් යටතේයි. නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු සිටින බව එම සමාගම ප‍්‍රකාශ කළා. එම පිරිස අතර ඉන්දියානු, රුසියානු, ලැට්වියානු සහ පිලිපීන ජාතිකයින් වනවා. 

ඉරානයට අයත්, සුපිරි ඉන්ධන ප‍්‍රවාහන නෞකාවක් ද ඉකුත් දා බි‍්‍රතාන්‍ය සිය භාරයට ගත් අතර මේ වනතුරුත් එම නෞකාව පවතින්නේ බි‍්‍රතාන්‍ය භාරයේයි. යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක නොතකා සිරියාවට ඉන්ධන ප‍්‍රවාහනය කරන බවට චෝදනා කරමිනුයි බි‍්‍රතාන්‍ය අදාළ ඉරාන නෞකාව සිය භාරයට ගත්තේ. ඊට එකට එක කිරීමක් ලෙස ඉරානය ද ඊයේ මෙලෙස බි‍්‍රතාන්‍ය ධජය රැගත් නෞකාවක් සිය භාරයට ගනු ලැබුවා.