Friday, April 26, 2024

General line - 0115112241

ලසන්ත, තාජුඩීන් ඇතුළු ප්‍රධාන සිද්ධි 06ක විමර්ශන ගැන CIDයෙන් වාර්තාවක් කැඳවයි




ආන්දෝලනයට තුඩුදුන් සිද්ධීන් 06ක විමර්ශන පිළිබඳව, වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවනු ලැබ තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු 17 දෙනෙකු ඝාතනය කිරීම සහ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම එම සිද්ධීන්ට අයත්. 

නීතිපතිවරයා විසින් ඉකුත් 15වනදා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අදාළ විමර්ශන පිළිබඳ විමසනු ලැබ තිබෙනවා. එමඟින් දක්වා තිබුණේ අදාළ විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර විමර්ශන උදෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසයි.

ඒ අනුව මෙම සිද්ධීන් 05ට අමතරව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ද ඇතුළත්ව සියලු විමර්ශනවලට අදාළව වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කරුණු විමසනු ලැබ තිබෙනවා. ඒ, කරුණු 11ක් පදනම් කර ගනිමින්.

විමර්ශන ආරම්භ කළ දිනය, වත්මන් තත්වය, අනාවරණය වූ සැකකරුවන්, සාක්ෂි, විමර්ශන අවසන් නොමැති නම් ඊට හේතු සහ විමර්ශන අවසන් කිරීමට කාල සීමාව ද ඒ අතරට අයත්. 

එම කරුණු සම්බන්ධයෙන් එක් එක් සිද්ධියට අදාළව වෙන වෙනම ගොනු සකස් කර ලබන 23වනදා හෝ ඊට පෙර ලබාදෙන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත්තේ.