Friday, April 26, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවට දින නියම වෙයි.

හර්ෂිකා සංජීවනි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙනවා. ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමෙන් පසු දෙපාර්ශවයේ නියෝජිතයින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙයයි. පොදුජන පෙරමුණ සමඟ එක් නොවී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළද එයද ගැටළුවක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ ප‍්‍රකාශ කළේ.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. පක්ෂ දෙකෙන්ම අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂාවක් නොමැති බවද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළා. 

සාකච්ඡා සාර්ථක වුවහොත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සම`ග අවබෝධතා ගිවිසුමකට ද එළඹෙන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර කියා සිටියේ. 

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ඊයේ රාත‍්‍රියේ පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීමෙන් පසු මන්ත‍්‍රී කණ්ඩායම සම`ග සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙයයි. 

ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා කළ යුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර තිබෙනවා. ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මෙහිදී ප‍්‍රකාශ කළා.

උතුරු හා නැගෙනහිර පළාත් ද ආවරණය වන පරිදි රට පුරා පුළුල් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමටයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එහිදී එකඟතාවකට එළඹ ඇත්තේ.