Friday, April 26, 2024

General line - 0115112241

වැරදි පුවතක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් : හදිසි නිතිය දීර්ඝ නොකිරීම විමර්ශන වලට බාධාවක් නොවේ

දිනුක් හේවාවිතාරණ




හදිසි නීතිය දීර්ඝ නොකිරීම දැනට තහනම් කර ඇති සංවිධානවල තහනමටත් එම සංවිධාන සම්බන්ධයෙන් සිදුකරනු  ලබන විමර්ශනයන්ට කිසිදු බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

අද දිනයේ පුවත් පතක් විසින් හදිසි නිතිය දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් වාර්තා කර ඇති පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ පොලිස් මුලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එම පුවත් පතේ සඳහන් ආකාරයට හදිසි නිතිය දීර්ඝ නොකිරීම නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින ත්‍රස්තයින් 200 දෙනෙකුට නිදහස හිමිවන බව සඳහන්ව ඇති පුවත මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින හා රඳවා ගෙන සිටින සියළු ත්‍රස්ත සැකකරුවන් රඳවා ගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති තාවකාලික විධිවිධාන යටතේ තිබෙන නෛතික ප්‍රතිපාදනයන් යටතේ බව ප්‍රකාශ කර සිටියා. 

එමෙන්ම තහනම් සංවිධාන සම්බන්ධයෙන් සහ ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන හා ඔවුන්ගේ දේපල තහනම් කිරීමට අදාලව සිදුකරනු ලබන විමර්ශනයන් වලට හදිසි නිතිය දීර්ඝ නොකිරීම කිසිදු බාධාවක් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කලේ.