Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්තාන සංචාරයෙන් ජ්‍යෙෂ්ඨයන් ඉවත් වුණේ බලපෑම් නිසාද - කි‍්‍රඩා ඇමතිගෙන් උත්තර

කසුන් කැලුම්/සමන්ත කුමාර




පාකිස්තාන තරග සංචාරයට සහභාගීවන ශී‍්‍ර ලංකා එක්්දින සහ විස්සයි විස්ස සංචිතයට කී‍්‍රඩා අමාත්‍යවරයා අද අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිව ඇති අතර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හිමව ඇත්තේ දසුන් ශානකටයි.

මේ අතර එළැඹෙන පාකිස්තාන සංචාරයට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක‍්‍රීඩකයන් සහභාගී නොවීමට හේතුව ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් බවට පැතිර යන ප‍්‍රචාර අසත්‍ය බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ 2009 වසරේ  පාකිස්තානයේදී ශී‍්‍ර ලංකා පිළට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් හේතුවෙන් ක‍්‍රීඩකයින් මෙම තීරණය ගෙන ඇති බවයි. එලෙස පකිස්ථාන සංචාරයට එක්වීමට අකමැති ක‍්‍රීඩකයන්ගේ තීරණයට ගරු කරමින් සංචාරය සඳහා එක්වීමට කැමති ක‍්‍රීඩකයන් පමණක් ඒ සඳහා සහභාගි කර ගන්නා බවයි ක‍්‍රීඩා අමාත්‍යවරයා එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ.

පාකිස්තාන තරග සංචාරය සඳහා තමන් එක්නොවන බවට දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, අකිල ධනංජය සහ තිසර පෙරේරා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් පාකිස්ථානයේ සංචාරය කිරීමට අකැමැත්ත දක්වන්නේ ඉන්දියාවෙන් එල්ල වෙන බලපෑම හේතුවෙන් බව එරට අමාත්‍යවරයෙක් වන ෆාවාඞ් හුසේන් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් පාකිස්ථානයේ සංචාරය කළහොත් ඔවුන් ඉන්දියන් පි‍්‍රමිය ලීග් තරගාවලියෙන් ඉවත් කරන බවට තර්ජනය කර ඇති බවට තමන්ට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි පාකිස්තාන අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ.