Friday, April 26, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාවරය

දිල්ශාන් තුෂාර




ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු ඉල්ලීමක්  මෙතෙක් නිල වශයෙන් කිසිදු දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වී නොමැති බව ආරක්ෂක ලේකම්, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ පවසනවා.

තවද ජනාධිපති අපේක්ෂකයන්ට ලබාදිය යුතු ආරක්ෂාව තීරණය කළ හැක්කේ ජනාධිපතිවරණයක් නිල වශයෙන් කැඳවීමෙන් පසුව බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේ. 

ජනාධිපතිවරණයක් නිල වශයෙන් කැඳවීමෙන් පසුව කිසියම් ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කර ඊට සුදුසු පියවර ගත හැකි වනු ඇතැයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපතිවරණයක් නිල වශයෙන් කැඳවා නොතිබුණ ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශ්ව කිිහිපයක් මේ වනවිටත් සිය ජනාධිපති අපේක්ෂකයන් නම් කර තිබෙනවා. සිය ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ද පවතින බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.

ඒ අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් සැපයිය යුතු බව ද මාධ්‍ය හමු සහ තවත් අවස්ථාවලදී ප‍්‍රකාශ වුණා. මේ බව පාදක කරගනිමිනුයි ජනාධිපති අපේක්ෂකයන්ට සපයන ආරක්ෂාව සම්බන්ධයෙන් නෙත් නිවුස්, ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසා සිටියේ. ඒ සඳහා ප‍්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා ඉහත අදහස් පළ කළා.

මීට ප‍්‍රතිචාර දක්වමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නොවූවත් ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇති බවයි. කෙසේ වෙතත් ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයන්නැයි ඉදිරියේදී  ලිඛිතව ද ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මන්තී‍්‍රවරයා කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායකගෙන් ද නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ "අපිට ආරක්ෂක මේනියාවක් නෑ" යනුවෙනි.