Friday, April 26, 2024

General line - 0115112241

ජනපතිට එරෙහිව ඊජිප්තුව කැළඹේ : විප්ලවයකට මුල පුරමින් රට පුරා විරෝධතා 

දිනුක් හේවාවිතාරණ




ඊජිප්තුවේ ජනාධිපතිවරයාට එරෙහිව දියත්වී තිබෙන විරෝධතාවයන් හේතුවෙන් ඊට සම්බන්ධ විරෝධතාකරුවන් 2000 කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව මානව හිමිකම් සංවිධාන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. විරෝධතාකරුවන් පවසන්නේ ඊජිප්තු ජනාධිපති  Abdel Fattah el-Sisi සිය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

සති දෙකක පමණ කාලයක සිට ඊජිප්තුවේ නගර රැසක ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතර මෙය 2011 වර්ෂයේදී පැවති "ඊජිප්තු විප්ලවයට" පසුව එරට ඇතිවී තිබෙන විශාලතම විරෝධතාවය මෙය වනවා.

ඊජිප්තු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් අතර එරට කයිරෝ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයකු සහ ප්‍රසිද්ධ තීරු රචකයෙකු වන හසන් නෆා ඇතුළු ප්‍රමුඛ පෙලේ ඊජිප්තු බුද්ධිමතුන් සහ ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයින් රැසක් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඊජිප්තුවේ මාධ්‍ය ආයතන වෙබ් අඩවි වාරණයකට ලක් කර ඇති බවත් තොරතුරු දැනගැනීම අත්හිටුවීමට රජය මෙවැනි පියවරක් ගෙන ඇති බවයි එරට මානව හිමිකම් සංවිධාන පවසන්නේ.

ඊජිප්තු ජනාධිපති  Abdel Fattah el-Sisi ගේ අධික වියදම් සහිත ජීවන රටාව සහ ඔහු විවිධ දුෂණයන්ට සම්බන්ධ බවට චෝදනා එල්ල කරමින් එරට විපක්ෂය ඇතුළු මහජනතාව මෙම විරෝධතාවයන් රටපුරා දියත් කර තිබෙනවා.